බස්නාහිර පළාත් උතුර සහ වයඹ ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරයි

773

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු දිනයේ තරග අද (12) ආරම්භ වූ අතර එම තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට බස්නාහිර පළාත් උතුර සහ වයඹ කණ්ඩායම් සමත් වුනා. ඔවුන් අතින් පරාජයට පත්වුනේ උතුරු පළාත් කණ්ඩායම සහ මධ්‍යම පළාත් කණ්ඩායම යි.

අද දිනයට පැවැත්වුනේ එස්. මතූෂාන්ගේ නායකත්වයෙන් යුත් උතුරු පළාත් කණ්ඩායම සහ අශාන් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුත් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම අතර තරගය සහ පුබුදු බණ්ඩාරගේ නායකත්වයෙන් යුත් මධ්‍යම පළාත් කණ්ඩායම සහ නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් වයඹ පළාත් කණ්ඩායම අතර තරගය යි.

වයස අවුරුදු 19න් පහළ පළාත් සංචිත නිකුත් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් එක්දින තරගාවලිය…

අද දිනයේ දී වඩත් කැපී පෙනෙන පිතිකරු වූයේ වයඹ පළාත් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය ය. පන්දු යවන්නන් අතරින් එම කණ්ඩායමේ ම සිතුම් අකලංක කැපී පෙණුනි.

උතුර පළාත සහ බස්නාහිර පළාත් උතුර අතර තරගය

කොළඹ තර්ස්ටන් පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් උතුරු ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දීමට තමන්ගේ කණ්ඩායමට අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණි. එම ඉනිමේ දී එම්. අබිනාෂ් (19) සහ රාජ් ක්ලින්ටන් (14) විසින් එක් කළ ලකුණු 29 ඉනිමේ හොඳම සබඳතාව බවට පත්වුනා.

කඩුලු ලබා ගැනීමේ දී පසිඳු උස්හෙට්ටි ලකුණු 12කට කඩුලු 3ක් ලබා ගත් අතර ප්‍රවීන් නිමේෂ් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බස්නාහිර පළාත් උතුර ක්‍රීඩකයින් ඉතා තියුණු තරගයකින් අනතුරුව කඩුල්ලක ජයක් වාර්තා කරන්නට සමත් වුනා.

වරෙක ලකුණු 49කට කඩුලු 5ක් දැවී තිබූ බස්නාහිර උතුර කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පන්දුවට පහර දුන් මහී තීක්ෂණ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් බස්නාහිර උතුර කණ්ඩායමට උත්තේජනය සැපයූවේය.

ශ්‍රී ලංකාවට එන දකුණු අප්‍රිකානු සංචිතයේ ස්ටේන් ඇතුළු ප්‍රබලයින් රැසක්

ජුලි 12 වැනිදා සිට අගෝස්තු 14 වැනිදා දක්වා ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දීර්ඝ ක්‍රිකට් තරගාවලිය…

අනතුරුව නැවත බස්නාහිර උතුර ලකුණු පුවරුව කඩුලු 9ක් දැවී 103ක් ලෙස දැක්විය. එම අවස්ථාවේ දී කණ්ඩයම ජයග්‍රහණය කරා රැගෙන ගියේ රවිඳු ප්‍රනාන්දු (19*) සහ පසිඳු උස්හෙට්ටි (07*) විසිනි. ඔවුන් අවසන් කඩුල්ල වෙනුවෙන් නොදැවී ලකුණු 20ක් එක් කළහ.

පන්දු යැවීමේ දී එස්. මතීෂාන්, ටී. දිනෝෂාන්, ටී. විතූශාන් සහ වී. වියත්කාන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

උතුරු පළාත් කණ්ඩායම; සියලු ම දෙනා දැවී 122 (47.3) එස්. භානුජන් 23, එම්. අභිනාෂ් 19, ටී. දිනේෂන් නොදැවී 16, පසිදු උස්හෙට්ටි 3/12, ප්‍රවීන් නිමේෂ් 2/11, මහේල තීක්ෂණ 2/26

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම; කඩුලු 9ක් දැවී 123 (34.4) මහී තීක්ෂණ 30, රවිඳු ප්‍රනාන්දු නොදැවී 19, එස්. මතීෂාන් 2/32, ටී. දිනේෂන් 2/19, ටී. විතුෂාන් 2/23, වී. වියත්කාන් 2/20


මධ්‍යම පළාත සහ වයඹ පළාත අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනූ මධ්‍යම පළාත් ක්‍රීඩකයින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 150ක් ලබා ගත්තා.

එම ඉනිමේ දී නායක පුබුදු බණ්ඩාර (35) සහ කසුන් ගුණවර්ධන (16) එක්ව පළමු කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගීම කැපී පෙණුනි. ඊට අමතරව අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 31ක් ලබා ගනිමින් තම කණ්ඩායම ඉහළ ලකුණු ප්‍රමාණයකට ගෙන යෑමට උත්සාහ කළ ද, අනෙක් පිතිකරුවන්ගෙන් එතරම් සහයෝගයන් නොලැබීමෙන් අඩු ලකුණු ප්‍රමාණයකට ඉනිම සීමා විය.

පන්දු යැවීමේ දකුණතින් පා දඟපන්දු යැවූ සිතුම් අකලංක ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්විය. ඊට අමතරව විදත් බටේපොළ සහ නිපුන් ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්තා.

බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා A කණ්ඩායමේ වගකීම් දිමුත්ට

ජුනි මස 26 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා A කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරය සඳහා තෝරා ගනු ලැබූ ක්‍රීඩකයින්…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසුනු වයඹ පළාත් ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 14කුත් පන්දු 5ක් ඉතිරිව තරගය අවසන් කරන්නේ කඩුලු 3ක් පමණක් දැවී යමිනි.

ඉනිමේ වඩාත් කැපී පෙණෙන ක්‍රීඩකයා වූයේ වමතින් පන්දුවට පහර දුන් නායක නිපුන් ධනංජය ය. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා ගත්තා. නිපුන්, යොහාන් පීරිස් (24*) හා එක්වෙමින් සිව්වැනි කඩුල්ලට නොදැවී ලකුණු 55ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුනා.

වයඹ කණ්ඩායම වෙනුවෙන් දකුණතින් පන්දුවට පහර දෙන සුපුන් සුමනරත්න පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා. ඔහු දෙවැනි කඩුල්ල වෙනුවෙන් මුදිත ප්‍රේමදාස (25) හා එක්වෙමින් ලකුණු 60ක සබඳතාවක් එක් කරන්නට සමත් වුනා.

මධ්‍යම පළාත් කණ්ඩායම; සියලුම දෙනා දැවි 150 (42.5) පුබුදු බණ්ඩාර 35, අභිෂේක් ආනන්දකුමාර් 31, විදත් බටේපොළ 2/35, සිතුම් අකලංක 4/32

වයඹ පළාත් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 151 (35.1) සුපුන් සුමනරත්න 42, මුදිත් ප්‍රේමදාස 25, නිපුන් ධනංජය නොදැවී 51, යොහාන් පීරිස් නොදැවී 24

තරගාවලියේ තවත් තරග දෙකක් හෙටත්  (13) ක්‍රියාත්මක වීමට නියමිත යි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<