ලෝක කුසලාන සංචිත නිවේදනය කරද්දී පාකිස්තාන පුහුණුකරුවන් ගෙදර යයි

828
GettyImages

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ Misbah-ul-Haq සහ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ Waqar Younis දෙදෙනා සිය තනතුරුවලින් ඉවත් වී තිබෙනවා.  

මේ පිළිබඳව එරට ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (06) නිවේදනය කළ අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය නිවේදනය කර සුළු මොහොතට පසුව මොවුන් දෙදෙනා මෙලෙස සිය ධුරවලින් ඉවත් වීම සුවිශේෂ කරුණක්. 

මොවුන් දෙදෙනා 2019 වසරේ දී උක්ත තනතුරු සඳහා තෝරාපත් කර ගනු ලැබූ අතර නව තනතුරු සඳහා පාකිස්තාන ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන Saqlain Mushtaq සහ Abdul Razzaq යන අයවළුන්, ඉදිරියේ දී පාකිස්තාන සත්කාරකත්ව ඇතුව ක්‍රියාත්මක වීමට නියමිත නවසීලන්ත සංචාරය තෙක් සංචිතයේ අතුරු පුහුණුකරුවන් (interim coaches) ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Misbah-ul-Haq සිය ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, කලක පටන් තමන් සිය පවුලේ සාමාජිකයින්ගෙන් ඉවත්ව ජෛව ආරක්ෂිත වටපිටා තුල කාලයක් ගත කිරීමෙන් තමන් වෙහෙසට පත්ව සිටින බවත්, සිය පවුලේ උදවිය සමඟ තමන් කාලය ගත කිරීමටත් අවශ්‍ය නිසාවෙන් මෙලෙස ප්‍රධාන පුහුණුකාර තනතුරෙන් ඉවත් වන බවයි. 

මට තේරෙනවා මේ තීරණය ගන්න මේක හොඳම කාලය නෙවෙයි කියලා, නමුත් මම හිතන්නේ නැහැ මම නිවැරදි මානසික රාමුවක ඉන්නවා කියලා ඉදිරියේ එන අභියෝග සඳහා සාර්ථකව මුහුණ දෙන්න. මම හිතනවා අලුත් කෙනෙක් කණ්ඩායමේ වගකීම බාර දෙන එක මේ වෙලාවේ සුදුසුයි කියලා.

පසුගිය මාස 24ක කාලය ඉතාමත් හොඳ කාලසීමාවක්. මම ස්තුති කරන්න ඕන මගේ කණ්ඩායමට සහ කළමනාකාරීත්වයකට ඔවුන් මට දුන්න සහයෝගයට. මම පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමට සුබ පතනවා ඉදිරියේ එන තරගාවලිවලට සාර්ථකව මුහුණ දෙන්න වගේම ඔවුන් පාකිස්තාන නියෝජනය කරමින් පිටියට පිවිසෙන ඕනෑම වෙලාවක මගේ සහයෝගය ලබා දෙන්න මම සූදානමින් සිටිනවා, යැයි Misbah-ul-Haq විසින් Cricbuzz වෙත පවසා තිබුණා. 

Waqar Younis කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන්නේ ඔහුගේ සගයා වන Misbah ඉවත් වීමට තීරණය කිරීම නිසාවෙනුයි.

Misbah ඔහුගේ තීරණය ගැන වගේම අනාගත සැලසුම් ගැන මාත් එකක් කතා කළාම මමත් තීරණය කළා ඔහුත් සමඟම තනතුරෙන් ඉවත් වෙන්න. මොකද අපි දෙන්නා එකට තමයි මේ තනතුරු භාරගත්තේ, අපි එකට තමයි සැලසුම් ක්‍රියාත්මක කළේ, ඉතිං කණ්ඩායමෙන් ඉවත් වෙද්දීත් එකටම ඉවත් වෙන එක තමයි සුදුසු කියලා මම තීරණය කළා, යැයි Waqar Cricbuzz වෙත පවසා තිබුණා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි Wasim Khan ඔවුන් දෙදෙනා මෙතෙක් පාකිස්තානය වෙනුවෙන් කළ සේවයට ස්තුති කළ අතර ඔවුන් දෙදෙනා පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් විශාල සේවයක් කළ බවත්, ඔවුන් දෙදෙනාම ගෞරවයකට පාත්‍ර විය යුතු පුහුණුකරුවන් වන බවත් පවසා තිබුණා.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<