ජීවන පිටියේ සටන පැරදුණු ඔලිම්පික් ජයග්‍රාහකයෝ

2387

ක්‍රීඩකයෙක් යනු කායිකව මෙන්ම මානසිකව ද ශක්තිමත් අයෙකි. එමෙන්ම, ජය පරාජය දරා ගැනීම, පීඩනය හැසිරවීම වැනි කරුණු නිසාවෙන් ක්‍රීඩකයෙකු සාමාන්‍ය මිනිසෙකුට වඩා මානසිකව ඉතා ශක්තිමත් යැයි විශ්වාස කෙරේ.

තහනම් පාරෙන් ගොස් ඔලිම්පික් පදක්කම් අහිමි කර ගත් ජයග්‍රාහකයන

මෑත කාලීනව වාර්තා වූ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ සිය දිවි නසා ගැනීම් නිසාවෙන් මේ දිනවල සමාජය තුළ සිය දිවි නසා ගැනීම සහ පුද්ගලයන්ගේ මානසික ශක්තිය පිළිබඳව විශාල කතා බහක් නිර්මාණය වී ඇත.

ක්‍රීඩකයෙක් කෙතරම් මානසික මට්ටමින් ශක්තිමත් වූවත් ක්‍රීඩා ඉතිහාසය දෙස බැලීමේ දී තම දිවි තොර කරගත් ක්‍රීඩකයන් රැසක් ගැන තොරතුරු වාර්තා වන අතර එම නාමයන් ගොන්නට ඔලිම්පික් පදක්කම් දිනූ විශිෂ්ට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ද ඇතුළත් වී තිබීම කැපී පෙනෙන කරුණකි.

කොකීචි සුබූරයා (Kōkichi Tsuburaya)

ජපාන දිගු දුර ධාවන ශූරයෙකු වූ කොකීචී සුබූරයා 1964 වසරේ ජපානයේ පැවති ඔලිම්පික් තරගාවලියේ දී මැරතන් ඉසව්ව පැය 2:16:22ක කාලයකින් අවසන් කරමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

Image Courtesy: Getty Images

එම තරගය අවසාන කිරීම සඳහා සුබූරයා දෙවැන්නා ලෙස ක්‍රීඩාංගණයට පිවිසි නමුත් බ්‍රිතාන්‍ය ක්‍රීඩක බැසිල් හීත්ලී ඉතා වේගවත් ලෙස ධාවනය නිතර වෙමින් ජපන් ප්‍රේක්ෂක බලාපොරොත්තු බිඳ දමමින් සුබූරයා පරදවමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එයින් දැඩි හිත් තැවුලට පත්වූ සුබූරයා ජපන් ජනතාවගෙන් සමාව පවා ඉල්ලා සිටියේය.

පසුව 1968 මෙක්සිකෝ ඔලිම්පික් උළෙල ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් කටයුතු සඳහා යොමු වී සිටි ඔහු 1968 ජනවාරි මස 09 වැනිදා ඔහු සිය දිවි නසාගෙන තිබූ අතර මිය යන විට ඔහු 27 වැනි වියෙහි පසු විය.

පියර් කුයිනන් (Pierre Quinon)

ප්‍රංශය නියෝජනය කරමින් 1984 වසරේ පැවති ඔලිම්පික් උළෙල සඳහා ඉදිරිපත් වූ පියර් කුයිනන් රිටි පැනීමේ ඉසව්වෙන් මීටර 5.75ක දක්ෂතාවයක් දක්වමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

එම තරගාවලියෙන් පසුව 1985 වසරේ දී රිටි පැනීමේ ඉසව්වට තම හොඳම දක්ෂතාවය වාර්තා කිරීමට ඔහු සමත් වූවත් 1986 වසරේ දී ඇතිවූ ආබාධයක් නිසාවෙන් විශාල පසුබෑමකට ලක් වූ ඔහු 1988 ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට පවා අසමත් විය.

Image Courtesy: Getty Images

පසුව 1993 වසරේ දී ඔහු ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කළ අතර එයින් වසර 18ක පසුව එනම් 2011 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා ඔහු සිය දිවි නසාගෙන ඇති බව ප්‍රංශ පුවත්පත් වාර්තා කරන ලදි.

මිය යන විට හතළිස් නවවැනි වියෙහි පසු වූ ඔහු කලක් තිස්සේ විෂාදය නම් රෝගයෙන් පෙළුණු බවත්, එයට ඔහු විසින් ප්‍රතිකාර පවා ලබා ගත් බව තහවුරු විය. ඔහුගේ අවමංගල උත්සවය රාජ්‍ය ගෞරවය යටතේ පැවැත්විය.

මලල ක්‍රීඩා ඉතිහාසයේ මෙතෙක් නොබිඳි වාර්තා

ඇන්ටෝනියෝ පෙටිගෘ (Antonio Pettigrew)  

ඇමරිකාව නියෝජනය කළ කෙටි දුර ධාවන ශූරයෙකු වූ ඇන්ටෝනියෝ පෙටිගෘ 1991 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී 400m ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර 2000 වසරේ දී ඇමරිකානු 400X4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ඔලිම්පික් රන් පදක්කමක් ද ජයග්‍රහණය කරන්නට සමත් විය.

කෙසේ නමුත් 2008 වසරේ දී ඔහුගේ පුහුණුකරු විසින් ඇන්ටෝනියෝ ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තහනම් උත්තේජක ලබා ගත් බවට නඩු විභාගයක දී පිළිගත් අතර පෙටිගෘ විසින් ද තමන් එම උත්තේජක භාවිත කළ බවට නඩු විභාගයේ දී සාක්ෂි ලබා දුන්නේය. ඒ අනුව 1997 සිට 2001 දක්වා කාලසීමාව තුළ තමන් දිනා ගත් පදක්කම් ස්වෙච්ඡාවෙන්ම නැවත ලබා දීමට ඔහු තීරණය කරන ලදි.

ඒ අනුව 2000 වසරේ දිනා ගත් ඔලිම්පික් ජයග්‍රහණය ද අවලංගු කරමින් ඔහුට වසර දෙකක තහනමක් ද පැනවූවත් ඒ වන විටත් ඔහු ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගෙන තිබුණි. එයින් වසර දෙකකට පසුව එනම් 2010 වසරේ අගෝස්තු 10 වැනිදා ඔහුගේ මෝටර් රථය තුළ තිබී ඔහුගේ මළ සිරුර හමුවී තිබුණි. 

මරණ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වූයේ ඔහු විසින් එක්තරා ඖෂධයක් අධික ලෙස පානය කිරීමෙන් සිය දිවි නසාගෙන ඇති බවයි. මිය යන විට ඔහු 42 වැනි වියෙහි පසු විය.

සැමුවෙල් වැන්ජීරු (Samuel Wanjiru)

කෙන්යානු දිගු දුර ධාවන ශූරයෙකු වූ සැමුවෙල් වැන්ජීරු 2008 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ මැරතන් ඉසව්ව පැය 2:06:32ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වට අදාළ ඔලිම්පික් වාර්තාවක් ද සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය. මැරතන් තරගයක දී රන් පදක්කමක් දිනා ගත් ළාබාලතම ක්‍රීඩකයා ලෙස ද ඔහු එහි දී ඉතිහාස ගත විය.

එම තරගාවලියට පසුව දිගු දුර ධාවන පිටියේ ඉහළ දස්කම් දක්වමින් 2009 වසරේ පැවති සුප්‍රකට ලන්ඩන් සහ චිකාගෝ මැරතන් තරග ද ජය ගැනීමට ඔහු සමත් වූ අතර පාදයේ ආබාධයක් ද සමඟින් තරග කරමින් 2010 වසරේ චිකාගෝ මැරතන් තරගය ද ජය ගැනීමට ඔහු සමත් විය.

Image Courtesy: Getty Images

පසුකාලීනව මත්පැන්වලට දැඩි ලෙස ඇබ්බැහි වූ ඔහු 2010 වසරේ දී තම බිරිඳට මරණ තර්ජන එල්ල කරමින් තුවක්කුවක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත් වූ නමුත් ඔහු විසින් එම චෝදනා ද්විත්වයම ප්‍රතික්ෂේප කරන ලදි.

ඉන් වසරකට පසුව එනම් 2011 වසරේ මැයි මස 15 වැනි දින ඔහු සිය දිවි හානි කරගෙන තිබුණි. 

මිය යන විට 24 වැනි වියෙහි පසු වූ ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද, එසේත් නොමැති නම් මිනීමැරුමක් ද යන ගැටලුවකට පොලිසිය මුහුණ දුන් අතර 2017 වසරේ පැවති නඩු විභාගයක දී ඔහුගේ මව විසින් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ මරණය මිනීමැරුමක් බවට තමන් විශ්වාස කරන බවයි. 

බෝල්ට්ගෙන් පස්සේ වේගයේ කිරුළ කාටද?

පර්සි විලියම්ස් (Percy Williams) 

1928 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ දී කැනඩාව නියෝජනය කරමින් තරග වැදුණු පර්සි විලියම් එහි 100m ඉසව්ව තත්පර 10.8ක කාලයකින් සහ 200m ඉසව්ව තත්පර 21.8ක කාලයකින් වසන් කරමින් රන් පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට සමත් විය. ඔලිම්පික් තරගාවලියක එම ඉසව් දෙකම ජය ගත් මුල්ම ඇමරිකානු නොවන ක්‍රීඩකයා ලෙස ද ඔහු එහි දී ඉතිහාස ගත විය.

ජයග්‍රහණයෙන් අනතුරුව ඔහු කැනඩා දේශයේ ජාතික වීරයෙකු ලෙස සැලකූ අතර ඔහුව පිළිගැනීමට 25,000කට අධික පිරිසක් කැනේඩියානු පැසිෆික් දුම්රිය පලට ද රැස්ව සිටියහ. 

Image Courtesy: Getty Images

එම තරගාවලියෙන් අනතුරුව ද දස්කම් දැක්වීමට සමත් වූ ඔහු 1930 වසරේ පැවති කැනේඩියානු ජවන හා පිටිය ශූරතාවලියේ දී 100m ඉසව්ව තත්පර 10.38ක කාලයකින් අවසන් කරමින් එවකට එම ඉසව්වට තිබූ ලෝක වාර්තාව ද අලුත් කිරීමට සමත් වූ නමුත් 1932 ඔලිම්පික් උළෙලේ දී ඔහුට 100m අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූයේ නැත.

එම පරාජයෙන් පසුව ක්‍රීඩා දිවියට තිත තැබීමට ඔහු තීරණය කරමින් රක්ෂණ නියෝජිතයෙකු ලෙස රාජකාරි කිරීමට ආරම්භ කළ අතර දෙවන ලෝක යුද සමයේ දී ඔහු සිවිල් ගුවන් නියමුවෙකු ලෙස Canadian Airways සමාගමට සේවය කරමින් පසුව කැනේඩියානු ගුවන් හමුදාවේ සිවිල් ගුවන් උපදේශකවරයෙකු ලෙස ද තේරි පත්විය.

පසුව 1980 වර්ෂයේ දී ඔහු විසින් 1928 ඔලිම්පික් උළෙලේ දී දිනා ගත් පදක්කම් “BC Sports Hall of Fame” නම් කෞතුකාගාරයට ප්‍රදානය කර එයින් දින සති කිහිපයකට අනුව එම පදක්කම් සොරකම් කර තිබූ අතර එහි පාඩුව ඔහුට තනිව විඳ දරා ගැනීමට සිදු විය. 

එම සිදුවීම් මගින් ක්‍රීඩා ජීවිතය ගැන කලකිරීමට ලක්වූ ඔහු 1976 වසරේ ඔලිම්පික් උළෙලට සහභාගි වන ලෙස ෆෙඩරල් රජය විසින් කළ ආරාධනය ද ප්‍රතික්ෂේප කරන ලදි.

තම මවගේ මරණයෙන් පසුව තනිව දිවි ගෙවූ ඔහු කලක පටන් ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳි අතර 1982 වසරේ දී ඔහු දිවි නසාගෙන තිබුණි.

මිය යන විට 74 වැනි වියෙහි පසු වූ ඔහුගේ මරණය සැමටම පුදුමය දනවන පුවතක් වූ අතර මරණයට හේතුව පිළිබඳව කිසිදු සටහනක් ද ඔහු විසින් තබා නොතිබුණි.

කෙසේ නමුත් අවසන් වශයෙන් සඳහන් කළ යුතුම කාරණයක් ඇත. කිසිම විටෙක සිය ජීවිතය තොරකර ගැනීම පවත්නා ගැටලුවකට ඇති හොඳම සහ එකම ප්‍රායෝගික සහ කාලෝචිත තීරණය නොවන බව සිහි තබා ගන්න

ලොව පවතින කිසිවකට සදාතනික පැවැත්මක් නැතුවා සේම, ඔබේ ගැටලු වේවා, ඔබ පසු කරමින් සිටින හොඳ හෝ නරක කාලය වේවා මේ සියල්ලම පවතින්නේ යම් කිසි කාල පරාසයක් සඳහා පමණක් බව සිහි තබා ගන්න. 

එමෙන්ම ඔබ කිසිවටෙක තනි වූ පුද්ගලයෙකු නොවන බව අවධාරණය කරගන්න. ඔබේ ගැටලුවට ඇහුම්කන් දීමට හැකි සහ ඔබ වෙනුවෙන් වචනයකින් පවා සහය වීමට හැකි පුද්ගලයින් ඔබ අවටම සිටින බව මතක තබා ගන්න. 

මානසික සහනයක් අවැසි ඕනෑම අවස්ථාවක දී ඔබට පිහිට විය හැකි, කිසිසේත් ඔබව තනි නොකරන පුද්ගලයින් සහ සේවාවන් ශ්‍රී ලංකාවේ ද ඇති බව ගැන ඔබ දැනුවත් ද?

මනසට පීඩාකාරී ඕනෑම ගැටලුවකට ඔබට විසඳුමක් ලබා දෙන්නට පහත සඳහන් අංක ඔස්සේ සම්බන්ධ වන්න. සිය දිවි හානි කරගන්නට සිතෙන සෑම වාරයකම ඔබේ ජීවිතයට අවස්ථාවක් දෙන්න අධිෂ්ඨාන කරගන්න. මතක ඇතුව පහත සඳහන් ආයතන වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන්න.

  • CCC line – 1333 (24 පැයේම ක්‍රියාත්මකයි)
  • ජාතික මානසික සෞඛ්‍ය ආයතනය – 1926 (ගාස්තු රහිත 24 පැයේම ක්‍රියාත්මකයි)
  • සුමිත්‍රයෝ – 011 2696666 (උදෑසන 9.00 සිට රාත්‍රි 8.00 දක්වා)
  • ශාන්ති මාර්ගම් – 0717639898

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<