බෝල්ට්ගෙන් පස්සේ වේගයේ කිරුළ කාටද?

587

දශකයට අධික කාලයක් කෙටි දුර ධාවන පිටියේ කිරුළ දැරූ ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර හුසෙයින් බෝල්ට් 2017 දී ක්‍රීඩා පිටියෙන් සමුගත් අතර ඔහුගෙන් පසුව කෙටි දුර ධාවන පිටියේ කිරුළ දිනා ගැනීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරග කරමින් සිටී. 

>> ඔලිම්පික් අවලංගු වීමක් ගැන අනතුරු ඇඟවීමක්

වසර අටක් ඔලිම්පික් තරගාවලි තුනක් මුළුල්ලේ ඇදී ගිය ජැමෙයිකානු ආධිපත්‍යය නිමා වීමෙන් පසුව කෙටි දුර ධාවනයේ කිරුළ දිනා ගන්නා මීළඟ සුපිරි තරුව කවුරුන් වේවි ද? 

අකානි සිම්බයින් (Akani Simbine)

Getty Images

26 වැනි වියේ පසුවන දකුණු අප්‍රිකානු මලල ක්‍රීඩකයෙකු වන අකානි සිම්බයින් එරට 100m ඉසව්වේ ජාතික වාර්තාවේ ද හිමිකරුයි. ළාබාල වියේ දී ම දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පිවිසි ඔහු 2016 වසරේ පැවති ඔලිම්පික් උළෙලේ 100m ඉසව්ව අවසන් කළේ පස්වැන්නා ලෙසයි.

100m ඉසව්ව තත්පර 9:89ක කාලයකින් ද, 200m ඉසව්ව තත්පර 19:95කින් ද අවසන් කරමින් එම ඉසව්වන් සඳහා හොඳම පෞද්ගලික දක්ෂතා දක්වා ඇති ඔහු, 2017 පැවති දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී සහ 2019 ලන්ඩන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ දී 100m ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ද සමත් විය.

එමෙන්ම 2019 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී සිව්වැන්නා ලෙස 100m ඉසව්ව අවසන් කළ ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ 100m ඉසව්වේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩකයෙකි.

ජස්ටින් ගැට්ලින් (Justin Gatlin)

Getty Images

ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු මෙන්ම හිටපු 100m සහ 200m ඉසව්වන්ගේ ලෝක ශූරයෙකු ද වන ඇමරිකානු ක්‍රීඩක ජස්ටින් ගැට්ලින් වර්තමාන කෙටි දුර ධාවන පිටියේ සිටින වයස්ගතම ක්‍රීඩකයා ලෙස ද හැඳින්විය හැක.

මේ වන විට 38 වැනි වියේ පසුවන ගැට්ලින් දිනෙන් දින තම දස්කම් ඔපමට්ටම් කරගන්නා ඉතා උත්සහවන්ත ක්‍රීඩකයෙකි. තම ක්‍රීඩා දිවියේ හොඳම කාලය තහනම් උත්තේජක ලබා ගැනීම නිසාවෙන් වැරදිකරු වී ක්‍රීඩා පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ ඔහු හිටපු ලෝක ශූර හුසෙයින් බෝල්ට්ට සිටි හොඳම ප්‍රතිවාදියා ලෙස ද හැදින්විය හැක.

100m ඉසව්වේ තත්පර 9:74කින් ද, 200m ඉසව්ව තත්පර 19:57කින් ද අවසන් කරමින් තම එම ඉසව් සඳහා තම හොඳම දක්ෂතා වාර්තා කර ඇති ගැට්ලින් 2017 පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී හුසෙයින් බෝල්ට් පරාජය කිරීමට සමත් වීම ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙනම සිදු වීම ලෙස හැඳින්විය හැක.

අවසන් වරට පැවති 2019 ලෝක ශූරතාවලියේ දී 100m ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ ගැට්ලින් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ දී එම ඉසව්ව ජයග්‍රහණය කිරීම බොහෝ සම්භාවිතාවක් ඇති ක්‍රීඩකයෙකි.

නමුත් කෙටි දුර ධාවනයේ දී වයස යනු ප්‍රධාන සාධකයක් වන බැවින් මොහු තව බොහෝ කාලයක් ක්‍රීඩා පිටියෙහි සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක.

ඇන්ඩ්‍රේ දී ග්‍රාස් (Andre De Grasse) 

Getty Images

100m සහ 200m ඉසව් හී ඔලිම්පික් මෙන්ම ලෝක ශූරතා පදක්කම්ලාභී කැනේඩියානු මලල ක්‍රීඩකයෙකු වන ඇන්ඩ්‍රේ දී ග්‍රාස් වර්තමාන කෙටි දුර ධාවන පිටියේ සිටින කැපී පෙනෙන දක්ෂ ක්‍රීඩකයෙකි. 

100m ඉසව්වේ දී තත්පර 9:90ක් ද, 200m ඉසව්වේ දී තත්පර 19:80 ද පෞද්ගලික හොඳම කාලයක් වාර්තා කර ඇති ඇන්ඩ්‍රේ 2016 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ 100m ඉසව්වේ ලෝකඩ පදක්කමත්, 200m ඉසව්වේ රිදී පදක්කමත් ජයග්‍රහණය කරන්නට සමත් විය. 

ඉන්පසුව ආබාධයක් හේතුවෙන් කලක් පිටියෙන් ඈත් වී සිටීමට සිදු වූ ඔහු නැවත ක්‍රීඩා පිටියට පැමිණීමෙන් පසුව 2019 වසරේ පැවති ලෝක ශූරතාවලියේ දී 100m ඉසව්වේ ලෝකඩ පදක්කම සහ 200m ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය.

මේ වන විට 25 හැවිරිදි වියේ පසුවන ඇන්ඩ්‍රේ ආබාධය සුව වී නැවත පැමිණීමෙන් පසුව දිනෙන් දින සිය දස්කම් වැඩි කර ගනිමින් පෙර රිද්මයට පැමිණීමට වෙර දරන අතර ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ 100m සහ 200m ඉසව් ද්විත්වයම මොහු විසින් ජය ගැනීමට ද වැඩි ඉඩකඩක් ඇත.

ක්‍රිස්තියන් කෝල්මන් (Christian Coleman) 

Getty Images

වර්තමාන ගෘහස්ථ සහ එළිමහන් මලල ක්‍රීඩා පිටියේ වේගවත්ම මිනිසා වන ඇමරිකානු මලල ක්‍රීඩක ක්‍රිස්ටියන් කෝල්මන් ගෘහස්ථ මලල ක්‍රීඩා පිටියේ 60m ඉසව්වේ ලෝක වාර්තාවට පවා හිමිකම දරයි (තත්පර 6:34).

2016 වසරේ පැවති ඔලිම්පික් තරගාවලියේ ඇමරිකානු 100m සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළ ඔහු, 2017 ලෝක ශූරතාවලියේ දී හිටපු ලෝක ශූර හුසෙයින් බෝල්ට්ව පවා අභිබවමින් 100m ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.

පෞද්ගලික හොඳම දක්ෂතා ලෙස 100m ඉසව්ව තත්පර 9:76කින් සහ 200m ඉසව්ව තත්පර 19:85කින් අවසන් කර ඇති ඔහු නිමා වූ 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ 100m ඉසව්වේ එවකට ලෝක ශූරයා වූ ජස්ටින් ගැට්ලින් පරාජය කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් විය.

තවමත් 26 වැනි වියේ පසුවන කෝල්මන් ලබන වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලියේ දී 100m ඉසව්ව ජය ගැනීමට හැකියාව ඇති ක්‍රීඩක ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයෙකි.

එමෙන්ම මෙම ක්‍රීඩකයා අනාගත කෙටිදුර ධාවන පිටියෙහි විශාල සලකුණක් වනු ඇතැයි බොහෝ දෙනා මත පලකරයි.

නෝආ ලයිල්ස් (Noah Lyles) 

Getty Images

 වර්තමාන කෙටිදුර ධාවන පිටියෙහි වඩාත්ම කතා බහට ලක්වන ක්‍රීඩකයා වන ඇමරිකානු ක්‍රීඩක නෝආ ලයිල්ස් ඉතා වේගයෙන් තම තරග නිමි කාලයන් දියුණු කරගන්නා ක්‍රීඩකයෙකි.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ලයිල්ස් මෙම වයස් සීමාවේ දී හුසෙයින් බෝල්ට් දැක්වූ දස්කම්වලට ද වඩා ඉදිරියෙන් සිටීම කැපී පෙනෙන අතර 2019 වසරේ පැවති “Paris Diamond League” තරගාවලියේ දී 200m ඉසව්ව තත්පර 19:65ක කාලයකින් අවසන් කරමින් එම තරගාවලියේ දී හුසෙයින් බෝල්ට් පිහිටුවා තිබූ වාර්තාව ද (තත්පර 19:73) බිඳ දැමීමට ඔහුට හැකි විය.

100m ඉසව්වේ තම පෞද්ගලික දක්ෂතාවය තත්පර 9:86 ලෙසත්, 200m ඉසව්වේ පෞද්ගලික දක්ෂතාවය තත්පර 19:50 ලෙසත් සටහන් කරගෙන සිටින ඔහුගේ 200m ඉසව්වේ හොඳම කාලය මෙතෙක් එම ඉසව්වට වාර්තා වූ හොඳම කාලයන් අතර හතරවැනි ස්ථානයේ ඇති අතර ගෘහස්ථ 300m ඉසව්වේ ලෝක වාර්තාවට ද ඔහු හිමිකම් කියයි (තත්පර 31:87).

2019 වසරේ පැවති ලෝක ශූරතාවලියේ දී 200m ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔහු සමත් වූ අතර එළඹෙන ඔලිම්පික් තරගාවලියේ දී එම ඉසව්ව මොහු විසින් ජය ගැනීමට බොහෝ ඉඩක් ඇත.

තවමත් ළාබාල වියේ පසුවන ඔහු බෝල්ට්ගේ සමුගැනීමෙන් පසුව හිස්වූ කෙටිදුර ධාවනයේ හිඩැස පුරවනු ඇතැයි විචාරකයින් මත පල කරමිනි සිටින අතර මීළඟ කෙටිදුර ධාවනයේ රජු මොහු වනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවේ.

වර්තමාන ක්‍රීඩා පිටිය දෙස අවධානය යොමු කිරීමේ දී ඉහත ක්‍රීඩකයින් කැපී පෙනෙන අතර ආබාධවලින් පසුව සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි වූ යොහාන් බ්ලේක් වැනි ක්‍රීඩකයන් ද අනාගත මලල ක්‍රීඩා පිටියෙහි ඕනම අවස්ථාවක වෙනසක් සිදු කිරීමට හැකියාව පවතී. 

එමෙන්ම කෙටිදුර ධාවන පිටියේ සෑම විටම තම ආධිපත්‍ය පැතිර වූ ජැමෙයිකානු ක්‍රීඩකයන් මේ වන විට බොහෝ පසුබෑමකට ලක්ව ඇති අතර ඇමරිකානු මලල ක්‍රීඩකයන් කෙටිදුර ධාවන පිටිය සිය අණසකට නතු කරගනිමින් පවතී.

කෙටිදුර ධාවන තරග යනු ඕනෑම විටක ප්‍රතිඵලය වෙනස් විය හැකි තරග වේ. එම තරග රටාවේ දීර්ඝ කාලීනව දස්කම් දැක්වීම පහසු නැත. එම නිසාවෙන් බෝල්ට්ගෙන් හිස් වූ මෙම තරග රටාවේ ආධිපත්‍ය දැරීමට කා හට හැකි වේ දැයි ලොවපුරා ප්‍රේක්ෂකයන් අවධානයෙන් පසුවේ. 

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<