Home Sinhala පැතුම් ශ්‍රී ලංකාවේ පැතුම සඵල කරයි!

පැතුම් ශ්‍රී ලංකාවේ පැතුම සඵල කරයි!

Afghanistan Tour of Sri Lanka 2024

262

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වුණු තෙවන එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලබමින් 3-0ක් ලෙස තරගාවලි ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව අද (14) සමත් වුනා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද දහවල් ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඇෆ්ගන් නායක Hashmatullah Shahidi විසින් සමත් වූ අතර පළමුව පන්දුවට පහර දීමේ වගකීම භාර ගැනීමට ඇෆ්ගන් නායකයා විසින් තීරණය කළා.

මෙම තරගයට කණ්ඩායම් ද්විත්වයම වෙනස්කම් දෙක බැඟින් සිදු කරමින් අවතීර්ණ වූ අතර, එහි දී ශ්‍රී ලංකාවේ ප්‍රදාන දඟපන්දු යවන්නන් යුගලය වන වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ විවේක ගන්වමින් දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබුණා

එමෙන්ම ඇෆ්ගනිස්තාන පාර්ශවයෙන් Gulbadin Naib සහ Noor Ahmad විවේක ගන්වමින් Sharafuddin Ashraf සහ Fareed Ahmad කණ්ඩායමට කැඳවා තිබුණා.

ශ්‍රී ලංකාව:

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක

ඇෆ්ගනිස්තානය:

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Azmatullah Omarzai, Mohammad Nabi, Ikram Alikhil(w), Sharafuddin Ashraf, Qais Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik

පෙර තරග ද්විත්වයේ දී එතරම් සාර්ථක වීමට නොහැකි වූ ඇෆ්ගන් ආරම්භක පිතිකරු Rahmanullah Gurbaz අද දිනයේ සාර්ථක ඉනිමකට ආරම්භය ලබා ගත් නමුත් Ibrahim Zadran ට නම් එතරම් වේලා කඩුල්ලේ රැඳී සිටීමට හැකි වුනේ නැහැ.

අවිශ්ක ප්‍රනාන්දුගේ විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ Zadranගේ ඉනිම ලකුණු 13කට සීමා වුනා. කෙසේ වෙතත් ඉන් පසුව Gurbaz සමඟ කඩුල්ලේ එක් වූ Rahmat Shah ඉනිමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 57ක් එක් කළා.

නමුත් කලකට පසු පිටියට පිවිසි අකිල ධනංජයගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් Gurbazගේ ඉනිම ලකුණු 48කට සීමා වූ අතර, එතැන් පටන් ද ඇෆ්ගන් පිතිකරුවන්ට ස්ථාවර ලකුණු සබඳතා කරා යාමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුණේ නැහැ.

මෙහි දී ලකුණු 65ක් ලබා සිටි Rahmat Shahගේ කඩුල්ල දුනිත් වෙල්ලාලගේ විසින් දවා ගත් අතර, ලකුණු 54ක් ලබා ගනිමින් නැවතත් සාර්ථක වූ Azmatullah Omarzaiගේ කඩුල්ල අසිත ප්‍රනාන්දු විසින් දවා ගත්තා.

ඇෆ්ගන් ඉනිමේ 39 වැනි පන්දුවාරය ආරම්භ වන විට ඔවුන් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වී සිටි නමුත් දුනිත්ගේ පන්දුවක් හමුවේ Ikram Alikhil දැවී යාමත් සමඟින් ඇෆ්ගන් ඉනිම ඉතා ඉක්මනින් බිඳ වැටීමට පටන් ගත්තා.

මේ අනුව පන්දුවාර 48 පන්දු 2ක් තුළ ඇෆ්ගනිස්තාන ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර මේ වෙනුවෙන් ප්‍රමෝද් මදුශාන් කඩුලු 3කින් දායක වුනා. එමෙන්ම අකිල ධනංජය, දුනිත් වෙල්ලාලගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

ඇෆ්ගනිස්තානය විසින් ලබා දුන් ඉලක්කය හඹා යාම සඳහා ශ්‍රී ලංකාවේ සුපුරුදු ආරම්භක පිතිකරු යුගලය වන පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පිවිසුණු අතර ඔවුන් දෙදෙනා විසින් පළමු එක්දින තරගයේ මතකය අලුත් කරවමින් නැවතත් විශිෂ්ට ශතක සබඳතාවක් කරා යාමට සමත් වුනා.

මෙහි දී අවිශ්ක විසින් පන්දු 24ක් පමණක් වැය කරමින් සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 පන්දු 83ක් තුළ වාර්තා වුනා.

අවිශ්ක සහ පැතුම් යුගලය විසින් පන්දුවාර 23ක් තුළ ලකුණු 173ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, එම අගනා සබඳතාව අවිශ්කගේ දැවී යාමත් සමඟින් නිම වුනා.

අවිශ්ක ප්‍රනාන්දු විසින් මෙම තරගාවලියේ සිය දෙවන ශතකය ද අවාසනාවන්ත ලෙස මඟ හැර ගනිමින් ලකුණු 91කට දැවී ගිය අතර, මේ ඉනිම වෙනුවෙන් ඔහු මුහුණ දුන්නේ පන්දු 66කට පමණයි. එමෙන්ම ඒ සඳහා ඔහු අලංකාර හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් එක් කර ගත්තා.

අවිශ්කට අවාසනාවන්ත ලෙස ශතකය මග හැරී ගියත්, පැතුම් නිස්සංක විසින් මෙවර තරගාවලියේ දෙවැනි වතාවටත් ලකුණු 100 සීමාව ඉක්මවා යෑමට සමත් වූ අතර ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 89ක් පමණයි.

මේ අතර අවිශ්කගේ දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 29ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ සඳහා ඔහු හයේ පහර හතරක් එල්ල කළ අතර, පැතුම් සහ කුසල් විසින් දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 54ක් තුළ ලකුණු 78ක් එක් කිරීමට සමත් වුනා.

මෙන්ඩිස් ඉනිමේ ලකුණු තත්වය 251ක් වන විට දවා ගැනීමට Mohammad Nabi විසින් සමත් වූ අතර, පැතුම් නිස්සංකගේ ඉනිම ලකුණු 118කින් නතර කිරීමට Qais Ahmad විසින් සමත් වුනා.

පන්දු 101ක් තුළ වාර්තා වූ පැතුම්ගේ මෙම ඉනිම සඳහා ඔහු විසින් හතරේ පහර 16ක් සහ හයේ පහර 2ක් එක් කර ගත්තා.

එමෙන්ම පැතුම් සිය ඉනිම අතරතුර එක්දින ලකුණු 2000 සීමාව ද ඉක්මවා යෑමට ද සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් ප්‍රමාණයකින් (52කින්) එම කඩ ඉම පසු කළ ක්‍රීඩකයා බවට පත් වීමට ද පැතුම්ට හැකියාව ලැබුණා.

එමෙන්ම එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයින් අතර සිව් වැනි ස්ථානයට පත් වීමට ද පැතුම්ට (ලකුණු 346) අද හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව විසින් නියමිත ඉලක්කය පන්දුවාර 35 පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් වූ අතර තරගයේ සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයම පැතුම් නිස්සංක හට හිමි වුනා.

ඒ අනුව ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

Result


Sri Lanka
267/3 (35.2)

Afghanistan
266/10 (48.2)

Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Akila Dananjaya 48 57 6 1 84.21
Ibrahim Zadran run out (Asitha Fernando) 13 10 3 0 130.00
Rahmat Shah lbw b Dunith Wellalage 65 77 7 1 84.42
Hashmatullah Shahidi c Pathum Nissanka b Akila Dananjaya 5 8 0 0 62.50
Azmatullah Omarzai b Asitha Fernando 54 59 4 0 91.53
Ikram Alikhil b Dunith Wellalage 32 38 2 1 84.21
Mohammad Nabi c Sadeera Samarawickrama b Pramod Madushan 14 21 0 1 66.67
Sharafuddin Ashraf c Charith Asalanka b Pramod Madushan 4 9 0 0 44.44
Qais Ahmed c Sadeera Samarawickrama b Pramod Madushan 11 4 1 1 275.00
Fareed Ahmad b Asitha Fernando 5 5 1 0 100.00
Fazal Haq Farooqi not out 0 3 0 0 0.00


Extras 15 (b 0 , lb 5 , nb 1, w 9, pen 0)
Total 266/10 (48.2 Overs, RR: 5.5)
Bowling O M R W Econ
Dilshan Madushanka 6 0 52 0 8.67
Pramod Madushan 8.2 0 45 3 5.49
Asitha Fernando 9 0 44 2 4.89
Dunith Wellalage 10 0 38 2 3.80
Janith Liyanage  2 0 11 0 5.50
Akila Dananjaya 10 0 54 2 5.40
Charith Asalanka 3 0 17 0 5.67


Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Qais Ahmed b Mohammad Nabi 118 101 16 2 116.83
Avishka Fernando c Sharafuddin Ashraf b Qais Ahmed 91 66 10 5 137.88
Kusal Mendis b Mohammad Nabi 40 29 0 4 137.93
Sadeera Samarawickrama not out 8 5 1 0 160.00
Charith Asalanka not out 7 13 0 0 53.85


Extras 3 (b 0 , lb 0 , nb 2, w 1, pen 0)
Total 267/3 (35.2 Overs, RR: 7.56)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 5 0 54 0 10.80
Azmatullah Omarzai 4 0 29 0 7.25
Sharafuddin Ashraf 6 0 47 0 7.83
Fareed Ahmad 4 0 45 0 11.25
Mohammad Nabi 9.2 0 46 1 5.00
Qais Ahmed 7 0 46 2 6.57



දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ඉරිදා (17) රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත අතර තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<