NSL ශූරතාව Galle කණ්ඩායමට

SLC National Super League 4 Day Tournament 2024

65
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ National Super League ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Galle කණ්ඩායම අද (03) සමත් වූවේ ය.

ගාල්ල සහ මහනුවර කණ්ඩායම් අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ගාලු ක්‍රීඩකයෝ කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම ශූරතාවට හිමිකම් කීහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 316ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ගාල්ල කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 304ක් පමණි. ඒ අනුව ලකුණු 12ක් ඉදිරියෙන් සිටිමින් පිටියට පිවිසි මහනුවර කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 163කට දැවී ගියේ ය.

ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා ගාලු ක්‍රීඩකයන්ට ලකුණු 175ක ඉලක්කයක් ලැබුණ අතර ඔවුන් එය කඩුලු 3ක් පමණක් දැවී සපුරා ගත් හ.

අවසන් මහා තරගය, පල්ලෙකැලේ, අප්‍රේල් 30 – මැයි 03, 2024, National Super League 4 Day Tournament

o කාසියේ වාසිය – Galle

o ක්‍රීඩාංගණය – ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, පල්ලෙකැලේ

තරගයේ සිවු වැනි දිනය අද දවස ආරම්භ වූයේ ගාලු කණ්ඩායමේ හඹා යන ඉනිමෙනි. සුපුරුදු ලෙසින් ම ෂෙහාන් ප්‍රනාන්දු සහ ඔෂද ප්‍රනාන්දු විසින් ගාලු ඉනිම ආරම්භ කළ ද තෙවැනි පන්දුවේ දී ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ දැමීමට ප්‍රතිවාදීන් සමත් වූ හ.

ඒ ෂෙහාන් ප්‍රනාන්දු ලකුණු 4කට දැවී යෑමත් සමඟිනි. අනතුරු ව පිටියට පිවිසියේ ලක්ෂාන් එදිරිසිංහ ය. ඔහු හා එක් වූ ඔෂද ප්‍රනාන්දු 2 වැනි කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් එක් කරමින් ගාලු ඉනිම ජයග්‍රහණ පෙනෙන මානයට ගෙන යෑමට සමත් වීම කැපී පෙණුනි.

ලක්ෂාන් එදිරිසිංහ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තේ ය. ලක්ෂාන් එදිරිසිංහ අද ලබා ගත්තේ තම තරග 75ක් වූ පළමු පෙළ තරගවල 20 වැනි අර්ධ ශතකයයි.

අනතුරු ව ධනංජය ලක්ෂාන් ද පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් තම කණ්ඩායමට එක් කළේ ය.

තරගය අවසන් වන විට ඔෂද ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 77ක් ද සහ විශාද් රන්දික පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටිය හ.

පන්දු යැවීමේ දී පුලින තරංග, නිම්සර අතරගල්ල සහ අශේන් ඩැනියෙල් කඩුල්ල බැගින් බෙදා ගත් හ.

මෙම තරගයේ දී අභියෝගාත්මක ඉනිමක නිරත වෙමින් ශතකයක් වාර්තා කරමින් සහ තරගයේ දී කඩුලු 4ක් දවා ගත් ගාල්ල කණ්ඩායමේ නායක රමේෂ් මෙන්ඩිස් අවසන් මහා තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Kandy – පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (99.0) පවන්ත වීරසිංහ 27, සහන් කෝසල 84, සිතාර ගිම්හාන් 90, අශේන් ඩැනියෙල් නොදැවී 50, ධනංජය ලක්ෂාන් 2/74, ටිලංග උදේශන 2/56, අසංක මනෝජ් 3/46, රමේෂ් මෙන්ඩිස් 2/47

Galle – පළමු ඉනිම සියලුම දෙනා දැවී 304 (86.4) ෂෙහාන් ප්‍රනාන්දු 33, ධනංජය ලක්ෂාන් 47, ලක්ශාන් එදිරිසිංහ 19, විශාද් රන්දික 19, රමේෂ් මෙන්ඩිස් 111, සිතුම් දිසානායක 3/50, නිම්සර අතරගල්ල 3/66, ලසිත් ඇඹුල්දෙණිය 3/79

Kandy – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 163 (71.0) සිතාර ගිම්හාන් 21, රවීන් යසස් 45, රවිඳු රත්නායක 27, පුලින තරංග 43, නිශාන් පීරිස් 5/42, ප්‍රවීන් ජයවික්‍රම 2/35, රමේෂ් මෙන්ඩිස් 2/38

Galle – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 178 (27.4) ඔෂද ප්‍රනාන්දු 77, ලක්ෂාන් එදිරිසිංහ 56, පුලින තරංග 1/33

Galle කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

  • අවසන් මහා තරගයේ වීරයා – රමේෂ් මෙන්ඩිස් (Galle)
  • තරගාවලියේ වීරයා – සොනාල් දිනූෂ (Dambulla)
  • තරගාවලියේ හොඳම පිතිකරු – ඔෂද ප්‍රනාන්දු (Galle) සහ පසිඳු සූරියබණ්ඩාර (Galle)
  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – වනුජ සහන් (Kandy)

දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<