ඔෂද සහ සූරිගෙන් ද්විත්ව ශතක සබඳතාවක්

SLC National Super League 4 Day Tournament 2024

125
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනය (02) නිමා වෙන්නේ Team Galle කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාරගේ ද්විත්ව ශතක සබඳතාවක උණුසුමත් සමඟිනුයි.

Team Dambulla සමඟ පැවැති එම තරගයේ දී ඔවුන් දෙදෙනා ම ශතක ඉනිම් වාර්තා කළ අතර ලක්ෂාන් එදිරිසිංහ ද අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කරමින් එම ඉනිමේ කැපී පෙණෙන පිතිකරුවෙක් බවට පත් වුනා.

මේ අතර පැවැති අනෙක් තරගයේ දී Team Colombo කණ්ඩායම වෙනුවෙන් නිපුන් ධනංජය සහ පැතුම් කුමාර අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

Team Galle සහ Team Dambulla

Team Galle – සංගීත් කුරේ (නායක), ඔෂද ප්‍රනාන්දු, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), පසිඳු සූරියබණ්ඩාර, ලක්ෂාන් එදිරිසිංහ, නිමේෂ් විමුක්ති, අසංක මනෝජ්, නිශාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, මොහොමඩ් ශමාස්, ටිලංග උදේශන.

Team Dambulla – මිනෝද් භානුක (නායක සහ කඩුලු රකින්නා), ලියෝ ෆ්‍රැන්සිස්කෝ, පවන් රත්නායක, රනේෂ් සිල්වා, සනෝජ් දර්ශික, සොනාල් දිනූෂ, චමිඳු විජේසිංහ, අකිල ධනංජය, ලක්ෂාන් සඳකැන්, මොහොමඩ් ෂිරාස්, දුශාන් හේමන්ත.

  • ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට
  • කාසියේ වාසිය – Team Galle

කාසියේ වාසිය දිනා ගත් Team Galle කණ්ඩායමේ නායක සංගීත් කුරේ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් ඉන් උපරිම ඵල නෙළා ගත්තේ පළමු දිනයට තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 346ක් ලබා ගනිමිනුයි.

නමුත් ඔවුන්ගේ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ලකුණු 22ක් වෙද්දී පළමු කඩුලු ද්විත්වය බිඳ දැමීමට චමිඳු විජේසිංහ සමත් වුනා.

එතැන් සිට තරගයේ පාලනය සියතට ගත් ඔෂද ප්‍රනාන්දු සහ පසිඳු සූරියබණ්ඩාර 2 වැනි කඩුල්ලට ලකුණු 206ක සබඳතාවක් එක් කළා. ඒ වෙනුවෙන් ඔවුන් වැය කළේ පන්දු 251ක් පමණයි.

ආරම්භක පිතිකරු ඔෂද ප්‍රනාන්දු පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 127ක් ලබා සිටිය දී තෙවැනි කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වූවා.

ඉන් අනතුරුව පසිඳු සූරියබණ්ඩාරට එක් වූ ලක්ෂාන් එදිරිසිංහ සිවු වැනි කඩුල්ලට ද ශතක සබඳතාවක් ගොඩ නගමින් දඹුලු ක්‍රීඩකයෝ අමාරුවේ දැම්මා. තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට ඔවුන් පන්දු 145ක දී නොදැවුණ ලකුණු 118ක් එක් කර තිබුණා.

ඒ වෙද්දී පසිඳු සූරියබණ්ඩාර පන්දු 184කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 130ක් ලබා සිටි අතර ලක්ෂාන් එදිරිසිංහ පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 75ක් ලබා සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී චමිඳු විජේසිංහ ලකුණු 49කට කඩුලු 2ක් දවා ගනිද්දී සොනාල් දිනූෂ ද කඩුල්ලක් බිඳ දැමුවා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Galle – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 346 (73.0) ඔෂද ප්‍රනාන්දු 127, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 130, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 75, චමිඳු විජේසිංහ 2/49

Team Kandy සහ Team Colombo

Team Colombo: නුවනිඳු ප්‍රනාන්දු (නායක), ශෙවෝන් ඩැනියෙල්, ක්‍රිශාන් සංජුල, නිපුන් ධනංජය, හිමාෂ ලියනගේ, පැතුම් කුමාර (කඩුලු රකින්නා), චමිඳු වික්‍රමසිංහ, ලක්ෂිත මනසිංහ, චාමිකර එදිරිසිංහ, ඉසිත විජේසුන්දර, නිසල තාරක.

Team Kandy – පැතුම් නිස්සංක (නායක), කසුන් විදුර, කමිල් මිෂාර, සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), අහන් වික්‍රමසිංහ, සහන් ආරච්චිගේ, චාමික කරුණාරත්න, අශේන් ඩැනියෙල්, වනුජ සහන්, නිම්සර අතරගල්ල, සිතුම් දිසානායක.

  • ක්‍රීඩාංගණය – ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, කොළඹ
  • කාසියේ වාසිය – Team Colombo

කාසියේ වාසිය දිනා ගත් මහනුවර නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Colombo ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 296ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් 2ක් ඇතුලත් වීම කැපී පෙණුනා. නිපුන් ධනංජය පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ද සහ පැතුම් කුමාර පන්දු 113කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියා.

ඊට අමතර ව නායක නුවනිඳු ප්‍රනාන්දු පන්දු 95කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා.

ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ මේ වන විට ක්‍රියාත්මක 7 වැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ ලකුණු 109ක සබඳතාවයි. ඊට මුල් වූයේ පැතැම් කුමාර සහ ලක්ෂිත මනසිංහ. ඔවුන්ට මේ වෙනුවෙන් වැය ව තිබුණේ පන්දු 186ක් පමණයි.

පැතුම් මේ වන විට අර්ධ ශතකය ඉක්මවා ඇති අතර ලක්ෂිත මනසිංහ පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී නිම්සර අතරගල්ල, සිතුම් දිසානයක සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

  • තරගයේ කෙටි ලකුණු පුවරුව

Team Colombo – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 296 (85.0) ක්‍රිශාන් සංජුල 31, නිපුන් ධනංජය 56, නුවනිඳු ප්‍රනාන්දු 46, හිමාෂ ලියනගේ 20, පැතුම් කුමාර නොදැවී 67, ලක්ෂිත මනසිංහ නොදැවී 46, සිතුම් දිසානායක 2/61, නිම්සර අතරගල්ල 2/54, වනුජ සහන් 2/76

මෙම තරග හෙට (2) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<