Ishan Kishan රෝහලට; තුන්වැනි තරගය මඟ හැරෙන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය 2022

1713
Ishan Kishan

ඉන්දීය කඩුලු රකින ආරම්භක පිතිකරු Ishan Kishan ඊයේ (26) තරගය අවසන් වූ වහාම CT ස්කෑන් පරීක්ෂාවක් වෙත යොමු කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ සඳහා හේතු වුනේ ලහිරු කුමාර විසින් පැයට කිලෝමීටර 145කට ආසන්න වේගයකින් යොමු කළ පන්දුවක් Kishanගේ හිසේ වැදීමයි.

කෙසේ නමුත් CT පරීක්ෂාවට පසුව රෝහල්ගත වුනු Kishanගේ තත්වය යහපත් නිසාවෙන් ඔහු මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙන නමුත්, ඔහු අද (27) පැවැත්වෙන තෙවැනි තරගයේ දී විවේක ගැන්වීමට වැඩි ඉඩක් තිබෙන බව වාර්තා වෙනවා.

Dharmasala හිදී පැවැත්වුණු දෙවැනි විස්සයි විස්ස තරගයේ ලකුණු 184ක ඉලක්කයක් හඹා යමින් සිටි ඉන්දීය ඉනිම තුල කුමාර යොමු කළ බවුන්සර් පන්දුවක් Kishanගේ හිසේ වැදුණා. ඒ වහාම ඔහු සිය හිස් ආවරණය ගලවා බිම දණ ගසා කෙටි විවේකයක් ලබා ගත් අතර එහි දී ඉන්දීය වෛද්‍ය සේවා කණ්ඩායමේ නිලධාරියා පැමිණ ඔහුගේ තත්වය පරීක්ෂා කළා. අ

නතුරුව ඔහු නැවතත් පිතිකරණයට පැමිණියා. කෙසේ නමුත් පන්දු 15කට මුහුණ දුන් ඔහු ලකුණු 16කට දවා ගැනීමට කුමාර සමත් වුනා.

මේ වන විට Kishanගේ තත්වය හොඳ මට්ටමක තිබෙන නමුත්, ඉන්දීය වෛද්‍ය සේවා කණ්ඩායම විසින් ඔහුගේ තත්වය පිළිබඳව ඉදිරි පැය කිහිපයක කාලය තුලත් ඉතාමත් හොඳ අවධානයෙන් පසුවෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය සඳහා Kishanගේ සහභාගීත්වය අවිනිශ්චිත මට්ටමක තිබෙන අතර යම් හෙයකින් ඔහුව විවේක ගැන්වීමට කටයුතු කළහොත්, Mayank Agarwal කඩුලු රකින්නා ලෙස අද තරගය ක්‍රීඩා කරනු ඇත. එසේම Sanju Samson සහ නායක Rohit Sharma ඉන්දීය ඉනිම ආරම්භ කිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

Agarwal ශ්‍රී ලංකාවට එරෙහිව නම් කළ ඉන්දීය විස්සයි විස්ස සංචිතය තුලට ඇතුලත්ව නොසිටි නමුත් Ruturaj Gaikwadගේ මැණික්කටුවේ ඇතිවූ ආබාධය නිසාවෙන් ඉන්දීය ටෙස්ට් කණ්ඩායම් සංචිතය තුල නිරෝධායනයට ලක්වෙමින් සිටි Agarwal  මෙලෙස ඉන්දීය විස්සයි විස්ස සංචිතයට ඇතුලත් කිරීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ඉන්දියාව දැනටමත් ජයග්‍රහණය කර තිබෙන අතර එහි අවසන් විස්සයි විස්ස තරගය අද (27) රාත්‍රී 7ට Dharmasala හිදීම පැවැත්වෙනවා.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<