වසරේ මලල ක්‍රීඩිකාව වෙන්න 10 දෙනෙක් තෝරයි

155

මෙවර ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ දී වසරේ ක්‍රීඩකයා සම්මානයට තරග වදින ක්‍රීඩකයන් 10 දෙනා පසුගිය සඳුදා (02) ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව වසරේ මලල ක්‍රීඩිකා සම්මානය සඳහා තේරී පත්වූ නාමයන් ලැයිස්තුව ඊයේ (03) ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම වසරේ මුහුණ පෑමට සිදු වූ කොරෝනා වසංගත තත්වය නිසාවෙන් බොහෝ කාලයක් මලල ක්‍රීඩා පිටියේ වැඩ කටයුතු නතර කර දැමීමට සිදු වූවත්, තරග වැදීමට ලැබුණු සීමිත අවස්ථාවල දී ඉහළ දස්කම් දැක්වීමට සමත් වූ ක්‍රීඩිකාවන් මෙවර එම සම්මානයට නිර්දේශ වී ඇත.

මෙම සම්මානය සඳහා ද ක්‍රම තුනක් ඔස්සේ මනාප ප්‍රකාශ කිරීමට නොවැම්බර් මස 15 වැනිද මධ්‍යම රාත්‍රිය තෙක් හැකියාව පවතින අතර එම කාලය අවසන් වීමෙන් පසු අවසන් ක්‍රීඩිකාවන් පස් දෙනා පිළිබඳව ප්‍රකාශයට පත්කරනු ඇත.

පසුව එම ක්‍රීඩිකාවන් පස් දෙනා අතරින් මෙම වසරේ හොඳම මලල ක්‍රීඩිකාව ලෙස සම්මානය හිමි කරගන්නා ක්‍රීඩිකාව දෙසැම්බර් 05 වැනිදා පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සම්මාන උළෙලේ දී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.

නිර්දේශිත ක්‍රීඩිකාවන්

Femke Bol (Netherland)

මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව නියෝජනය කරමින් මෙම වසරේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ නෙදර්ලන්ත ක්‍රීඩිකා Femke Bol මෙම වසරේ සහභාගි වූ තරග 6ම ජය ගැනීමට සමත් වූ අතර එම ඉසව්ව තත්පර 53.79ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය වාර්තා කිරීමට ද ඇය සමත් විය.

Letesenbet Gidey (Ethiopia)

දිගුදුර පිටියේ දස්කම් දක්වන ඉතියෝපියානු ක්‍රීඩිකා Letesenbet Gidey මීටර් 5000 ඉසව්ව මිනිත්තු 14:06.62ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර මෙම වසරේ පැවති Monaco Diamond League තරගාවලියේ මීටර් 5000 රිදී පදක්කම දිනා ගැනීමට ද ඇය සමත් විය.

Sifan Hassan (Netherland)

නෙදර්ලන්තය නියෝජනය කරමින් දිගු දුර ධාවන පිටියේ දස්කම් දැක්වීමට සමත් වූ Sifan Hassan මෙම වසරේ පැවති පැයක් දිවීමේ තරගයක දී (one hour run) මීටර් 18,930ක දුරක් වාර්තා කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූ අතර මීටර් 10,000 ඉසව්ව මිනිත්තු 29:36.67ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ යුරෝපා වාර්තාව මෙන්ම මෙතෙක් වාර්තා වූ සිව්වැනි හොඳම කාලය වාර්තා කිරීමට ද ඇයට හැකි විය.

Peres Jepchirchir (Kenya)

මෙම වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගාවලියේ කාන්තා තරගය ලෝක වාර්තාවක් පිහිටුවමින් ජය ගැනීමට කෙන්යානු ක්‍රීඩිකා Peres Jepchirchir සමත් වූ අතර එම වාර්තාව ද ඇතුළුව මෙම වසර තුළ දී දෙවතාවක් කාන්තා කාණ්ඩයට පමණක් විවෘත වූ අර්ධ මැරතන් ලෝක වාර්තාව (පැය 1:05.34 සහ 1:05.16) දෙවතාවක්ම බිඳ හෙළීමට සමත් විය.

Faith Kipyegon (Kenya)

මෙම වසර තුළ සහභාගි වූ තරග ඉසව් සියල්ලේම ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වූ Faith Kipyegon මීටර් 1000 සහ 800 ඉසව් පිළිවෙළින් මිනිත්තු 1:57.68 සහ 2:29.15ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වන්හී මෙම වසරේ වාර්තා වූ හොඳම කාලය වාර්තා කිරීමට සමත් විය.

Laura Muir (Great Britain and Northern Ireland)

මෙම වසරේ මීටර් 1500 තරග පිටියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ Laura Muir එම ඉසව්ව මිනිත්තු 3:57.40ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය වාර්තා කිරීමට සමත් වූ අතර වසර තුළ සහභාගි වූ තරග තුනක දී සිය කිරුළ රැකගැනීමට ද සමත් විය.

තවත් මලල ක්‍රීඩා පුවත්

Hellen Obiri (Kenya)

කෙන්යානු ජාතික මලල ක්‍රීඩිකා Hellen Obiri මෙම වසර තුළ දී මීටර් 3000 සහ 5000 ඉසව් නියෝජනය කරමින් ජයග්‍රහණ ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර මීටර් 3000 ඉසව්ව මිනිත්තු 8:22.54ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය වාර්තා කිරීමට ද සමත් විය.

Yulimar Rojas (Venezuela)

තුන් පිම්ම ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Yulimar Rojas මෙම වසර තුළ දී ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩා පිටියේ සහභාගි වූ තරග හතරක දී සිය කිරුළ රැකගැනීමට සමත් වූ අතර එම ඉසව්වෙහි මීටර් 15.43ක දස්කමක් දක්වමින් ලෝක වාර්තාව බිඳ හෙලීමට ද සමත් විය.

Elaine Thompson-Herah (Jamaica)

කෙටිදුර ධාවන පිටියේ නිරන්තරයෙන් කතාබහට ලක්වන ඔලිම්පික් ශූරී Elaine Thompson-Herah මෙම වසර තුළ සහභාගි වූ මීටර් 100 තරග 7ම ජය ගැනීමට සමත් වූ අතර එම ඉසව්ව තත්පර 10.85ක කාලයකින් අවසන් කරමින් වසරේ හොඳම කාලය සටහන් කිරීමට ද සමත් විය.

Ababel Yeshaneh (Ethiopia)

අර්ධ මැරතන් ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ Ababel Yeshaneh මිශ්‍ර අර්ධ මැරතන් කාණ්ඩයේ තරගය පැය 1:04.31ක කාලයකින් අවසන් කරමින් එහි කාන්තා ලෝක වාර්තාව පිහිටුවීමට සමත් වූ අතර මෙම වසරේ පැවති ලෝක අර්ධ මැරතන් තරගය සිදු වූ අනතුරක් නිසාවෙන් පසුබැසීමකට ලක්ව පස්වැන්නා ලෙස අවසන් කිරීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<