Matara City පුහුණුකාරීත්වයට හිටපු ජාතික පුහුණුකරුවෙක්

288

Matara City පාපන්දු සමාජය විසින් ඔවුන්ගේ පුහුණුකාර ධුරය සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු නිසාම් පකීර් අලි පත්කිරීමට තීරණය කර ඇත. 

මේ වන තෙක් ඒ. ජී. වීරප්පුලි සහ කේ. ඩී. ලලිත් සමඟ එක්ව Matara City කණ්ඩායමේ පුහුණුකාර ධුරය දැරූ ඉන්දික තේණුවර ThePapare.com සමඟින් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම පත්කිරීම එළඹෙන FFSL ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය සඳහා වලංගු වන බවත්, ඉන් අනතුරුව එය එළඹෙන Dialog ශූරයින්ගේ කුසලාන තරග වාරයට හා අනෙක් තරගාවලිවලට ද දීර්ඝ කිරීමට ඔවුන් බලාපොරොත්තුවෙන් පසුවන බවත් ය. 

“නිසාම් කියන්නේ මේ වෙනකොට ලංකාවේ ඉන්න හොඳම වගේම අත්දැකීම් බහුලම පුහුණුකරුවන් අතරින් කෙනෙක්. ඒ වගේම නව තරග වාරය සඳහා සූදානම් වෙන්න අපිට අපේ ක්‍රීඩා සමාජය තුළ අලුත් වෙනසක් අවශ්‍ය වෙලා තිබ්බේ. ඉතින් මම හිතනවා නිසාම්ගෙන් වගේම ඔහුගේ අත්දැකීම් තුළිනුත් අපේ ක්‍රීඩකයින්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි කියලා. 

දැනට ඔහුගේ පත්කිරීම අපි සිදු කෙරුවේ එළඹෙන FFSL ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්ක කරගෙන. අපි එකපාරටම ඔහුගෙන් තරගාවලිය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ කණ්ඩායම තුළ තව හැදෙන්න ඕන ගොඩක් පැතිකඩ තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ක්‍රීඩකයින්ව දියුණු කරලා හොඳ ප්‍රතිඵල කණ්ඩායමට ළඟා කරලා දෙන්න ඔහුට පුළුවන් වෙයි කියලා. 

ඒ වගේම අපි ගොඩක් කැමතියි නිසාම්ව දිගටම එළඹෙන නව Dialog ශූරයින්ගේ කුසලාන තරගාවලියට වගේම අනිත් තරගාවලි වලටත් අපේ පුහුණුකරු විදිහට තියාගන්න. මේ තරගාවලිය අවසන් වුනාට පස්සේ අපි ඔහුත් එක්ක ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.”

මෙම පත්වීමට පෙර නිසාම් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ අතර ඔහුගේ එම අවුරුදු 2ක ධුර කාලය තුළ ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 198 ස්ථානයේ සිට 205 ස්ථානය දක්වා පහත වැටෙන්නට විය. ඔහු යටතේ ක්‍රීඩා කළ තරග 24න් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ 1 තරගයක් පමණක් වන අතර තවත් තරග 5ක් අවසන් වූයේ ජය-පරාජයෙන් තොරවයි. තවදුරටත් එම තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගෝල 7ක් පමණක් වාර්තා කරගනු ලැබුවේ අනෙක් පසින් ප්‍රතිවාදීන් හට ගෝල 65ක් ලබා දෙමිනි. 

කෙසේ නමුත් ඊට පෙර ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස පොලිස් පාපන්දු කණ්ඩායම, Java Lane පාපන්දු සමාජය මෙන්ම Negombo Youth පාපන්දු සමාජයත් පළමු පෙළ ලීග් තරගාවලියේ සිට Dialog ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා ඉදිරියට රැගෙන ඒමට දායකත්වය ලබා දී ඇති නිසාම් මෙම පත්වීම හරහා දිවයිනේ දකුණු දෙසින් ජාතික කණ්ඩායමට දක්‍ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සොයාගන්නා අතරතුර පාපන්දු ක්‍රීඩාව පිළිබඳ ඔවුන් දක්වන රුචිකත්වය ඉහළ නැංවීමට ද බලාපොරොත්තුවෙන් පසුවෙයි.

“මේ පත්වීම සිදු වුනේ එළඹෙන FFSL ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්ක කරගෙන. ඉතින් මම බලාපොරොත්තු වෙනවා Matara City කණ්ඩායමට ඔවුන්ගේ ක්‍රීඩකයින් දියුණු කරගන්න සහයෝගය ලබා දෙන්න. මම මේ වෙනකොට දවස් දෙකක් ඔවුන් එක්ක පුහුණුවීම් කටයුතු සිදු කරලා තියෙන්නේ. ඔවුන් දක්‍ෂතා සහිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ගොඩක් තරුණ කණ්ඩායමක්. මම ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදිහට ඉඳපු කාලේ මට පුළුවන් වුනා උතුරු පළාතෙන් ජාතික කණ්ඩායමට දක්‍ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම හොයාගන්න. ඉතින් මං බලාපොරොත්තු වෙනවා දැන් දකුණෙන් එහෙම දක්‍ෂ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායමට හොයලා දෙන්න. 

ඒ වගේම පසුගිය කාලේ පුරාවට අපිට දැකගන්න පුළුවන් වුනා මේ ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩාවට තියෙන උනන්දුව ටික ටික අඩු වෙලා යනවා. මම ඒ උනන්දුවත් නැවත ඉහළ නංවන්න බලාපොරොත්තු වෙනවා.”

තවත් කියවන්න;

කෙසේ නමුත් අප සමඟ අවසාන වශයෙන් අදහස් දක්වමින් නිසාම් ප්‍රකාශ කර සිටියේ මෙම තරගාවලිය අවසාන වීමෙන් අනතුරුව Matara City කණ්ඩායමත් සමඟ ඉදිරියටත් කටයුතු කරනවා ද යන්න තවමත් අවිනිශ්චිත බවයි. 

“මට විදෙස් පාපන්දු සමාජ කිහිපයකින්ම පුහුණුකාර ධුරය සඳහා එන්න කියලා තියෙන්නේ. ඒත් COVID-19 වයිරසයත් එක්ක ඒ දේවල් පසුගිය කාලේ නැවතිලා තිබුණේ. මේ තරගාවලිය ඉවර වුනාට පස්සේ හොඳ මොකක්ද කියලා බලලා මම අනාගතය ගැන තීරණයක් ගන්නවා.”

FFSL ජනාධිපති කුසලාන පාපන්දු තරගාවලිය මෙම ජූලි මස 26 වන දින සිට පාපන්දු සමාජ 20ක සහභාගීත්වයෙන් ආරම්භ වීමට කටයුතු සූදානම් කර ඇති අතර COVID-19 වසංගත තත්වයත් සමඟ පාපන්දු ක්‍රීඩා කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව පවත්වනු ලබන පළමු පාපන්දු තරගාවලිය වන්නේ මෙයයි.  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<