සියවස සමරන්න ලීග් කිරුළට මාන බලන Longdon place රතු හමුදාව

Nippon අන්තර් සමාජ රග්බි ලීගය 2022/23

494

Ceylonese Rugby & Football Club නැතිනම් සැවොම දන්නා CR & FC සමාජයට මෙම වසර ඉතා සුවිශේෂී වසරක් වෙන්නේ ඔවුන්ගේ සියවස සම්පූර්ණ වෙන නිසයි.

දේශීය රග්බි ක්‍රීඩාවට විශාල සේවාවක් සිදු කළ මෙම සමාජයේ සාමාජිකයින් වෙනුවෙන් සියවස සඳහා ලබා දිය හැකි විශාලතම තිළිණය මෙවර ලීග් රග්බි ශූරතාවය ජයග්‍රහණය කිරීම කිවහොත් නිවැරදියි.

ශ්‍රී ලංකා රග්බි පිටියේ තෙවැනි සාර්ථකම රග්බි කණ්ඩායම වන CR & FC මේ දක්වා අන්තර් සමාජ රග්බි කිරුළ 13න් වතාවක් දිනා ගැනීමට සමත්ව ඇති අතර ඔවුන් පළමු වරට 1952 වසරේ දී එම කිරුළ ජයග්‍රහණය කළා.

එම ජයග්‍රහණයෙන් පසුව 50 දශකයේ රග්බි පිටිය දෙවනත් කළ ඔවුන් අන්තර් සමාජ කිරුළ හය වතාවක් දිනා ගැනීමට එම කාල වකවානුවේ දී සමත් වුනා. ඔවුන් අවසන් වරට එම කිරුළ ජයග්‍රහණය කළේ 1998 වසරේයි.

2022 වසර ඔවුන්ගේ ක්‍රීඩා ඉතිහාසයේ කණගාටුදායක වසර ලෙස හැඳින්විය හැකි අතර ඔවුන් එම වසරේ තරගාවලිය 7වැන්නා ලෙස අවසන් කළේ යුද හමුදා කණ්ඩායමට පමණක් ඉදිරියෙන් සිටිමිනුයි.

එම තරගාවලියේ ඔවුන් ලබා ගත්තේ ජයග්‍රහණ දෙකක් පමණක් වන අතර තරග අටක් ජය පරාජයෙන් තොරව සහ තරග පහක් පරාජයන් වලින් අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.

CR & FC මෙහෙයවන තෙවැනි කොස්තා සහෝදරයා බවට පත්වෙමින් කවිඳු ද කොස්තා මෙවර කණ්ඩායමේ නායකත්වය දරන අතර හිටපු නායක Dushanth Lewke කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

අවසන් වරට ලීග් තරගාවලිය ජයග්‍රහණය කළ CR & FC කණ්ඩායමේ නායක විරාජ් ප්‍රසාන්ත ඉදිරි පෙළ පුහුණුකරු ලෙසත් සහ හිටපු නායක ලසන්ත ද කොස්තා පසුපෙළ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මෙවර CR & FC කණ්ඩායම අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන ලසිඳු කරුණාතිලක, වගීෂ වීරසිංහ, සුහිරු අන්තෝනි, Akila Darling යන ක්‍රීඩකයින්ගෙන් සහ Murshid Zubair, ගැමුණු චේතිය, තේනුක නානායක්කාර, විඳුනු අමනෙත් යන නවක ක්‍රීඩකයින්ගෙන් සමන්විත දක්ෂ කණ්ඩායමක්.

CR & FC කණ්ඩායම – 2022/23: සෙනුර පෙරේරා, කළිඳු නන්දිල, Murshid Zubair, අචිත රදීශාන්, තේනුක නානායක්කාර, රුචිර ඒකනායක, මනිල්ක රුබේරු, ඩිල්ෂාන් ජයා, කවිඳු ද කොස්තා, රවීන් ද සිල්වා, සුපුන් වර්ණකුලසූරිය, මදූෂ කාවින්ද, සුහිරු ඇන්තෝනි, ගයාන් ඩිල්ෂාන් , ගැමුණු චේතිය, එරන්ද හර්ෂණ, දේවින්ද කුමාර, ලසිඳු කරුණාතිලක, ඉමංක ආරියපාල, ශෙහාන් කැළණියගොඩ, Akila Darling, ළහිරු පවිත්‍ර, විඳුනු අමනෙත්, සමීර පියුමාල්, ශෙනාල් අධිකාරම්, ජෙරෝ ධනංජය, හසිත මාපිටිගම, ඉශාන් අමත්, අශේන් ගුණසේකර, සමිත් වර්ණකුලසූරිය, ට්‍රෙවින් කරුණානායක, චමෝද් මුතුනායක, ඉශාන් ශ්‍රීනාත්, වගීෂ වීරසිංහ, සතුර සෙනවිරත්න.

CR & FC කණ්ඩායම Havelocks පරාජය කරමින් මෙම තරගාවලිය ආරම්භ කළත්, ප්‍රබල මහනුවර හමුවේ තියුණු පරාජයක් භුක්ති විඳින්නට ඔවුන්ට සිදු වුනා. ඔවුන්ගේ මීළඟ තරගය පොලිස් ක්‍රීඩකයින් සමඟින් පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<