බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් පෙන්නුම් කල විශිෂ්ට පිතිකරණ රටාව හේතුවෙන් නැවත වරක් පන්දුවට පහර දීමේ අවමානයෙන් ගැලවෙන්නට අද (09) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. නමුත් ප්‍රථම ඉනිමේදී ලකුණු 182ක ඉදිරියක් තබා ගැනීමට සමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම තවමත් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අණසක පැතිරවීමට සමත්ව සිටියි.

මෙන්ඩිස්ගේ විශිෂ්ට ඉනිම ද්විත්ව ශතකය ආසන්නයෙන් නතර වෙයි

ඊයේ දිනය සඳහා තරගය කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 321ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) තම ප්‍රථම ඉනිම ලකුණු 494ක් දක්වා වැඩි වර්ධනය කර ගැනීමට සමත් විය.

ලකුණු 494ක අභියෝගය හඹායමින් සිටි බංග්ලාදේශය ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 2කට ලකුණු 133ක් ලබාගෙන සිටි නිසා ඒ වනවිට තරගය දෙපිළටම සමබර තත්වයක් උදාවී තිබුණි. නමුත් ඊයේ සන්ධ්‍යා කාලයේ සිට හොඳින් පන්දුවට පහර දෙමින් ලකුණු 71ක් ලබාසිටි සෞම්‍ය සර්කාර් එල්ල කල පළමු අපරීක්ෂාකාරී පහරම උඩපන්දුවක් බවට පෙරළා ගැනීමට ෆයින්-ලෙග් කලාපයේ පන්දු රැකි ලහිරු කුමාර සමත් වීමත් සමග බංග්ලාදේශයේ නාය යෑම ඇරඹුණි. ඉන් අනතුරුව පිටියට පිවිසි ශකීබ් අල් හසන් ධනාත්මක අයුරින් පිතිකරණයේ යෙදෙමින් ලකුණු 23ක් රැස් කළත් ලක්ෂාන් සඳකැන්ගේ විරුද්ධ පසට දඟ කැවුණු පන්දුවක් හමුවේ කඩුලු රකින්නා අතට උඩපන්දුවක් ලබාදී දැවී ගියේය. එහිදී ශකීබ්ගේ වෑයම කල් තබා නිරීක්ෂණ කළ නිරෝෂන් දික්වැල්ල කල් තබාම පා ඉන්න දෙසට ගොස් තිබූ නිසා මෙම උඩපන්දුව රැක ගැනීම පහසු විය.

බංග්ලාදේශයේ මැදපෙළ අර්බුදය තව තවත් උග්‍ර කරමින් මහමුදුල්ලාහ් සහ ලිතන් දාස් ද අද තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යා වලට දැවී ගියහ. ඒ වනවිට ලකුණු 192ට කඩුලු 6ක් අහිමි කරගෙන සිටි බංග්ලාදේශය දරුණු පරාජයක් අභියසට පැමිණ තිබුනත් බංග්ලාදේශ නායක මුෂ්ෆිකර් රහීම් තම කණ්ඩායම ගළවා ගැනීම සඳහා නායකත්වයේ ඉනිමක නියැලෙමින් සිටියේය. ඔහුගේ මෙහෙවරට අත්වැලක් සැපයූ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක මෙහෙදි හසන් තම නායකයා හා එක්ව 7වැනි කඩුල්ල සඳහා ලකුණු 106ක සබඳතාවයක් පැවැත්වීය.

ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබූ මෙම සබඳතාවය බිඳ හෙලමින් ශ්‍රී ලංකාව නැවත වරක් තරගයට අවතීර්ණ කරවූයේ දකුණත් දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරායි. ඔහුගේ පන්දුවක් හමුවේ ලකුණු 41ක් ලබාසිටි මෙහෙදි හසන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව සත්වන කඩුල්ල ලෙස දැවී යනවිට බංග්ලාදේශ ලකුණු පුවරුව 298ක් ලෙස සටහන් විය. එතකින් නොනැවතුනු දිල්රුවන් ඊළඟ පන්දුවේදී ටස්කින් අහමඩ්වද නැවත ක්‍රීඩාගාරයට හරවා යැවූයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමටද අවස්ථාවක් උදාකර ගනිමිනි. නමුත් ප්‍රේක්ෂකාගාරයේ ජය ඝෝෂා මැද දිල්රුවන්ගේ සුරතින් ගිලිහුණු මීළඟ පන්දුව සුභාශිස් රෝයිගේ පිත්තට ඉතාමත් ආසන්නයෙන් කඩුලු රකින්නා අතට ඇදී යාම නිසා ඔහුට කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව මගහැරී ගියේය.

තේ විවේකයට විනාඩි 15ක් පමණ ඉතිරිව තිබියදී බංග්ලාදේශ කණ්ඩායමේ ගැලවුම්කරුවා බවට පත්ව සිටි නායක මුෂ්ෆිකර් රහීම්ව දවා ගැනීමට ශ්‍රී ලංකා නායක රංගන හේරත් සමත් විය. රංගන යැවූ පන්දුව රහීම්ගේ කඩුල්ල බිඳ දමන මොහොත වනවිට බංග්ලාදේශ නායකයා හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 85ක් රැස්කර තිබුණි. ඊට සුළු මොහොතකට පසුව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැලුණු අතර විනිසුරුවරුන් තරගය තේ විවේකය සඳහා නතර කරන්නට තීරණය කළහ.

ඉන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කරමින් යැවූ දෙවැනි පන්දුවේදීම රංගන හේරත් බංග්ලාදේශ ඉනිමේ අවසන් කඩුල්ල ද බිඳ හෙලීය. එතැන් පටන් නැවතත් වර්ෂාව සහ අයහපත් ආලෝක තත්වය තරගය කෙරෙහි දැඩි බලපෑම් එල්ල කල නිසා තෙවැනි දිනය නිමාවන තුරුම ශ්‍රී ලංකා පිතිකරුවන්ට තම දෙවැනි ඉනිම ආරම්භ කිරීමට හැකි වූයේ නැත. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ පරිණත දඟ පන්දු යවන්නන් දෙදෙනා වන රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය. ඒ අනුව මේ වනවිට ප්‍රථම ඉනිමේ ලකුණු 182ක් ඉදිරියෙන් පසුවන ශ්‍රී ලංකාවට හෙට දිනයේදී තම ලකුණු සංඛ්‍යාව තව තවත් ඉහළ නංවා ගනිමින් තරගයේ ග්‍රහණය මුළුමනින්ම තමන් සතුකර ගැනීමට අවස්ථාව උදාවී ඇත.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 494 (පන්දුවාර 129.1): කුසල් මෙන්ඩිස් 194, අසේල ගුණරත්න 85, නිරෝෂන් දික්වැල්ල 75, දිල්රුවන් පෙරේරා 51, දිමුත් කරුණාරත්න 30, මෙහෙදි හසන් 4/113, මුස්ටාෆිසූර් රහ්මාන් 2/68, ටස්කින් අහමඩ් 1/77.

බංග්ලාදේශ (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 312 (පන්දුවාර 46): මුෂ්ෆිකර් රහීම් 85, සෞම්‍ය සර්කාර් 71, තමීම් ඉක්බාල් 57, මෙහෙදි හසන් 41,  දිල්රුවන් පෙරේරා 3/53, රංගන හේරත් 3/72, සුරංග ලක්මාල් 1/42.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට