මහනුවර ආධිපත්‍ය රඳවා ගනිද්දී CR&FCට දැවැන්ත ජයක්

Nippon අන්තර් සමාජ රග්බි තරගාවලිය 2022/2023

236

දේශීය රග්බි පිටිය උණුසුම් කරමින් පැවැත්වෙන Nippon අන්තර් සමාජ රග්බි තරගාවලියේ තෙවැනි සතියේ තරග පසුගිය දා පැවැත්වුනා.

Havelocks SC v Navy SC

වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සත්කාරකයින් පරදවා ලකුණු 22-10ක ජයක් ලබා ගැනීමට Havelocks ක්‍රීඩකයින් සමත් වුනා.

පළමු අර්ධයේ සිටම සත්කාරකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ Havelocks ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ලකුණු 15ක් ලබා ගැනීමට සමත් වුනා.

සත්කාරකයින්ට තරමක සහනයක් ගෙන දෙමින් 65 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් වාර්තා කළේ Mushin Faleel විසිනුයි.

නමුත් Havelocks වෙනුවෙන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට මිතුන් හපුගොඩ සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Havelocks SC 22 – 10 Navy SC

CH&FC v Army SC

උදාර ජයපාල අවසන් මොහොතේ ලබා ගත් උත්සාහක දිනුම නිසා යුද හමුදා කණ්ඩායමට එරෙහිව පැවති තරගය ලකුණු 31-31ක් ලෙස සමව අවසන් කිරීමට CH&FC කණ්ඩායමට හැකි වුනා.

ආරම්භයේ සිටම උණුසුම් වූ මෙම තරගයේ පළමු අර්ධයේ ලකුණු 17-14ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් වුනේ CH&FC කණ්ඩායමයි.

දෙවැනි අර්ධයේ දී ඉතා ශක්තිමත්ව තරගයට අවතීර්ණ වූ යුද හමුදා ක්‍රීඩකයින් එම අර්ධයේ අවසන් මිනිත්තු 5 වන විට CH&FC ක්‍රීඩකයින්ට වඩා ලකුණු 07ක් පෙරමුණේ පසු වුනා.

නමුත් ඔවුන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු කෙටි වේලාවක් තුළ සුනුවිසුනු කරමින් තරගය අවසන් වීමට කෙටි වේලාවක් තිබිය දී උත්සාහක දිනුමක් වාර්තා කිරීමට CH&FC ක්‍රීඩක උදාර ජයපාලට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: CH&FC 31 – 31 Army SC

CR&FC v Police SC

පොලිස් කණ්ඩායමට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සත්කාරක පිටියේ ලකුණු 36-19ක ජයක් ලබා ගැනීමට CR&FC කණ්ඩායමට හැකි වුනා.

CR&FC වෙනුවෙන් අශාන් ඩාර්ලින්, රුචිර ඒකනායක සහ රවීන් ද සිල්වා උත්සාහක දිනුම් වාර්තා කරද්දී, චතුර සෙනවිරත්න විසින් දඬුවම් පහර හතරක් සහ ප්‍රවර්තන අවස්ථා දෙකක් සාර්ථක කර ගත්තා.

තරගය අවසන් වීමට මත්තෙන් සිය ලකුණු පුවරුව ඉහළ නැංවීමට පොලිස් ක්‍රීඩකයින්ට හැකි වූ නිසා අමතර ප්‍රසාද ලකුණක් ලබා ගැනීමේ අවස්ථාව CH&FC කණ්ඩායමට මඟ හැරී ගියා.

අවසන් ලකුණු: CH&FC 36 – 19 Army SC

Kandy SC v Air Force SC

අන්තර් සමාජ රග්බි පිටියේ ප්‍රබලතම කණ්ඩායම මෙන්ම වත්මන් ශූරයින් වන මහනුවර ක්‍රීඩා සමාජයට ප්‍රබල සටනක් ලබා දීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනත්, ලකුණු 23-18ක තියුණු ජයක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරග ආරම්භයේ හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වූවත්, මහනුවර ක්‍රීඩක තරින්ද රත්වත්ත සහ ලවංග පෙරේරා ලබා ගත් උත්සාහක දිනුම් මහනුවර ක්‍රීඩකයින් තරගය පෙරමුණට ගෙන ආවා.

තරගය අවස්ථා කිහිපයක දී නතර කිරීමට සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් හමුදා කණ්ඩායමේ පුහුණුකරු Shamli Nawaz හට කාඩ්පත් ලබා දී ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට විනිසුරුවරයාට සිදු වුනා.

එම සිදුවීම් සමනයට පත්වීමෙන් පසුව තරගය ආරම්භ වූ සැණින් මහනුවර වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට කවිඳු පෙරේරා සමත් වුනා.

සිය සත්කාරක ක්‍රීඩාංගණයේ දී ම මහනුවර කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල කරමින් මිනිත්තු 10ක් තුළ උත්සාහක දිනුම් ද්විත්වයක් වාර්තා කිරීමට ගුවන් හමුදා ක්‍රීඩකයින්ට හැකි වුනේ ලකුණු තත්වය 19-18ක් බවට පත් කරමිනුයි.

නමුත් ගුවන් හමුදා ක්‍රීඩකයින්ගේ සතුට කෙටි වේලාවක් තුළ අහිමි කරමින් 77 වැනි මිනිත්තුවේ දී ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරමින් සිය කණ්ඩායමේ අපරාජිකත්වය රැක ගැනීමට දිනාල් ඒකනායකට හැකි වුනා.

අවසන් ලකුණු: Kandy SC 23 – 18 Air Force SC

තරගාවලියේ සිව්වැනි සතියේ  තරග කාලසටහන,

  • ජනවාරි 06 – Air Force SC v Police SC
  • ජනවාරි 07 – Army SC v Havelock SC
  • ජනවාරි 07 – CH&FC v CR&FC
  • ජනවාරි 08 – Kandy SC v Navy SC

තරගාවලියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<