කැලුම්ගෙන් ගෝල 3ක්; Blue Starට ජයග්‍රාහී සතියක්

Super League 2021

230
Super League 2021

සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 6 වැනි තරග සතිය අවසන් කරමින් ඊයේ (12) පැවති New Youngs SC සහ Red Star FC අතර තරගය ගෝල 4-4ක් ලෙස සමව නිමා දකින විට, Up Country Lions FC සහ Blue Star SC තරගයෙන් ගෝල 2-1ක ජයක් ලබා ගන්නට Blue Star ක්‍රීඩකයින් සමත් වුනා.

New Youngs SC සහ Red Star FC

පසුගිය සතියේ දී Blue Eagles SC ගෝල 1-2ක් ලෙස පරාජය කරමින් New Youngs මේ තරගය සඳහා අවතීර්ණ වෙද්දී Colombo FC සමඟ පැවති තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් කරමින් Red Star ක්‍රීඩකයින් අද තරගය සඳහා අවතීර්ණ වුනා.

කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති මෙම තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ම ගෝලයක් වාර්තා කරන්නට Red Star ක්‍රීඩක ධනංජය විජේසිංහ සමත් වුනා. ඉන් අනතුරුව ලකුණු පුවරුව සම කරමින් ගෝලයක් වාර්තා කරන්නට New Youngs ක්‍රීඩක කැලුම් සංජය සමත් වුනා. ඒ තරගයේ 19 වැනි මිනිත්තුවේ දීයි.

එම ගෝලයෙන් නොසැලුණු Red Star ක්‍රීඩකයින් 24 වැනි මිනිත්තුවේ දී සහ 28 වැනි මිනිත්තුවල දී ගෝල රැස් කරමින් ගෝල 3-1ක් ලෙස පීඩනය ප්‍රතිවාදීන් දෙසට හරවන්නට සමත් වුනා. එම ගෝල සඳහා හිමිකම් කීවේ පිළිවෙළින් Ismail Abumere සහ මොහොමඩ් රිහාඩ් යන Red Star ක්‍රීඩකයින් දෙදෙනායි.

තවත් ගෝලයක් සමඟින් පළමු අර්ධය අවසන් කරන්නට Red Star නායක මොහොමඩ් රහ්මාන් සමත් වුනා. ඒ 45+3 වැනි මිනිත්තුවේ දීයි.

ඒ අනුව ගෝල 1-4ක් ලෙස ප්‍රථම අර්ධය නිමා වුනේ New Youngs ක්‍රීඩකයින්ට දැවැන්ත පීඩනයක් එල්ල කරමිනුයි. කෙසේ නමුත් දෙවැනි අර්ධය සඳහා අවතීර්ණ වූ ඔවුන් සාර්ථකව Red Star ක්‍රීඩකයින් මෙල්ල කරමින් ගෝල රැස් කරන්නට සමත් වුනා.

එහි දී 47 වැනි සහ 52 වැනි මිනිත්තුවල දී තවත් ගෝල දෙකක් රැස්කරමින් සිය ගෝල ත්‍රිත්වයේ අවස්ථාව සපුරා ගන්නට New Youngs ක්‍රීඩක කැලුම්ට හැකි වුනා.

ඔහුට සහය වෙමින් 68 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ නිකිල ප්‍රනාන්දු 68 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනේ ලකුණු පුවරුව සම මට්ටමකට ගෙන එමින් තරගය දෙපිළටම විවර කරමිනි.

කෙසේ නමුත් දෙවැනි අර්ධය පුරාවට එකදු ලකුණක් හෝ ලබා ගන්නට Red Star ක්‍රීඩකයින් අසමත් වූ අතර තරගයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්නට New Youngs ක්‍රීඩකයින්ට ද හැකි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: New Youngs 4 – 4 Red Star

ගෝල ලාභීන්:

  • New Youngs: කැලුම් සංජය 19’, 47’, 52’, නිකිල ප්‍රනාන්දු 68’
  • Red Star: මොහොමඩ් රහ්මාන් 45+3’, මොහොමඩ් රිහාඩ් 28’, ධනංජය විජේසිංහ 6’, Ismail Abumere 24’

Up Country Lions FC සහ Blue Star SC

මෙම තරගය ඉකුත් 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව නිසාවෙන් තරගය අද දවස දක්වා කල් දැමීමට සංවිධායකයින් කටයුතු කළා.

පසුගිය සතියේ දී Sea Hawks FC හමුවේ ගෝල 1-0ක් ලෙස පරාජය වෙමින් Up Country ක්‍රීඩකයින් අද තරගය සඳහා පිවිසෙද්දී, Renown SC සමඟ පැවති තරගය ගෝල 0-0ක් ලෙස අවසන් කරමින් Blue Star ක්‍රීඩකයින් අද තරගය සඳහා අවතීර්ණ වුනා.

කරට කර උණුසුම් තරගයක් දෙමින් ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට Blue Star ක්‍රීඩකයින් සමත් වුනේ 43 වැනි මිනිත්තුවේ දීයි. Arepade Jerry Ombembe විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් ප්‍රථම අර්ධය නිමාව දුටුවේ ගෝල 1-0ක් ලෙසයි.

ඉන්පසුව දෙවැනි අර්ධය ආරම්භ වී මිනිත්තු කිහිපයක් ගත වෙද්දී Blue Star ක්‍රීඩකයින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට සමත් වුනා. ශෙනාල් සංදේෂ් විසින් එම ගෝලය වාර්තා කළේ තරගයේ 53 වැනි මිනිත්තුවේ දීයි.

ඉන් අනතුරුව Blue Star අභියෝගයට පිළිතුරු දෙන්නට Up Country ක්‍රීඩකයින් සමත් වුනේ 72 වැනි මිනිත්කුවේ දී ගෝලයක් වාර්තා කරමිනුයි. ජාතික පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා විසින් වාර්තා කළ එම ගෝලයෙන් පසුව දෙපිලම ගෝල වාර්තා කරන්නට සමත් නොවූ අතර ඒ අනුව ගෝල 2-1ක් ලෙස Blue Star ජයග්‍රාහීව දිනය නිමා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 1- 2 Blue Star SC

ගෝල ලාභීන්:

  • Up Country Lions: සුජාන් පෙරේරා 72’
  • Blue Star: Arepade Jerry Ombembe 43’, ශෙනාල් සංදේෂ් 53’

තරගාවලියේ 6 වැනි සතියේ තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

  • දෙසැම්බර් 15: Defenders FC v Colombo FC – සවස 3.30pm
  • දෙසැම්බර් 16: New Youngs FC v Ratnam SC – සවස 3.30pm
  • දෙසැම්බර් 16: Blue Star SC v Sea Hawks FC – රාත්‍රි7.30pm
  • දෙසැම්බර් 17: Red Stars FC v Renown SC – සවස 3.30pm
  • දෙසැම්බර් 17: Up Country Lions FC v Blue Eagles SC – රාත්‍රි 7.30pm

තරගාවලියේ සවිස්තර තොරතුරු දැන ගන්නට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<