බංග්ලාදේශය පරදා ඉන්දියාව හිස ඔසවයි

172
Nidahas Trophy 2018 India v Bangladesh match report

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ බංග්ලාදේශ පිතිකරුවන් දක්වන ලද නීරස පිතිහරඹයත්, අනුකම්පා විරහිත වූ ශිකර් ධවාන්ගේ පිති ප‍්‍රහාරයත් හේතුවෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී බංග්ලාදේශ පිල කඩුලු 6ක පරාජයකට ඇද දැමූ ඉන්දියානුවෝ තරගාවලියේ පළමු ජය වාර්තා කළහ.

කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි නිදහස සැමරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු නිදහස් …

නොසිතූ ලෙස ශ‍්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ ඉන්දීය කණ්ඩායමට අත්‍යාවශ්‍ය ම ජයග්‍රහණයක් බවට පත්වූ මෙම තරගයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලද ලකුණු 140ක ඉලක්කය පන්දු 08ක් ඉතිරිව රැස් කරගන්නා ලද්දේ තවත් කඩුලු 6ක් ලකුණු පුවරුවේ ඉතිරි කරමිනි. මනීෂ් පාන්ඬේගේ පිත්තෙන් ඉන්දීය ජයග්‍රහණය සනාථ වන විට ඔහුගේ නම ඉදිරියෙන් ලකුණු 27කුත් අනෙක් අන්තයේ සිටි දිනේෂ් කාර්තික්ගේ නම ඉදිරියෙන් ලකුණු 02කුත් සටහන්ව තිබුණ.

මෙම හඹා යෑමේ දී නායක ෂර්මා සහ රිෂාබ් පන්ට් අධිවේගී පන්දුවාර 6ට පෙර දවා ගැනීමට මුස්ටෆිසුර් සහ රුබෙල් හොසේන් සමත් වුවද, පළමු තරගයේ දී මෙන් ලකුණු අතර සිටි ශිකර් ධවාන් ඉන්දීය පිල ජය ටැඹ කරා රැගෙන යෑමේ ප්‍රමුඛයා විය. ඉදිරි පෙළ පිතිකරුවන් දෙදෙනාම මුළු ලකුණු 40 දී ප්‍රේක්ෂකයන් බවට පත්වීම නිසා පවර් ප්ලේ පන්දුවාර 6 දී ඉන්දීය පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 47ක් පමණි. එය බංග්ලාදේශ පිල තම අධිවේගී පන්දුවාර 6 දී ලබාගත් ලකුණු සංඛ්‍යාව සමග සංසන්දනය කිරීමේ දී ලකුණු 07කින් පෙරමුණ ගැනීමකි.

පන්දු 43කින් සමන්විත වූ ධවාන්ගේ ලකුණු 55ක ඉනිම, හයේ පහර  2කින් සහ හතරේ පහර 5කින් අලංකාර කර තිබුණි. පළමු තරගයේ දී ද ලකුණු 90ක් ලද ධවාන් මෙම තරගයේ දී රැස් කරගන්නා ලද්දේ සිය විස්සයි විස්ස දිවියේ 5 වැනි අර්ධ ශතකයයි. මන්දගාමී වුවත් වැටී සිටි අවස්ථාවෙන් ගොඩ එ්මට සහයෝගය ලබා දුන් සුරේෂ් රයිනා පන්දු 27ක දී ලකුණු 28ක් ලබා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක් කිරීමට ධවාන්ට සහාය ලබා දුන්නේය. රුබෙල් හොසේන්ගේ පන්දුවකට රයිනා දැවී යන විට හයේ පහරකින් සහ හතරේ පහරකින් පමණක් සිය ඉනිම සරසා ගෙන සිටියේය.

ඉන්දීය නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ පිල කඩුලු 8ක දී ලකුණු 139කට නවතාලීමේ පූර්ණ ගෞරව ඉන්දීය පන්දු යවන්නන්ට හිමි විය යුතු වුවත් ඔවුන් විසින් ලබා දුන් අතිරේක ලකුණු 15න් ලකුණු 13ක්ම පන්දු යවන්නන් විසින් පිරිනමන ලද අතිරේක ලකුණු වීම සෑහීමකට පත්විය නොහැකි මට්ටමේ විය. වයිඩ් පන්දු 11ක් සහ නිපන්දු 2ක් වශයෙන් ප‍්‍රධානය කෙරුණු එම අතිරේක ලකුණු ලබා දීමේ අනෙක් ප‍්‍රතිවිපාකය වූයේ යවන ලද හැම පන්දුවක් වෙනුවෙන් තවත් අතිරේක පන්දු 13ක් යොමු කිරීමට සිදු වීමය. එම ගණන පන්දුවාර වලින් නම් පන්දුවාර 2කුත් එක් පන්දුවකි.

එවන් අතිරේක වාසියක් බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුවද කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩනගා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්  අපොහොසත් වීම ඉන්දීය කණ්ඩායමෙන් ලද ප‍්‍රධානයන්ගෙන් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි විය.

බංග්ලාදේශ පිතිකරුවන් අතරින් ලිටන් දාස් පන්දු 30කට මුහුණ දී ලකුණු 34ක් ලබා බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභී පිතිකරුවා බවට පත්විය. ඔහුට අමතරව සබීර් රෙහ්මාන් පන්දු 26ක දී ලකුණු 30ක් ලබා ගත්තා හැරෙන්නට නම් දැරූ සෙසු එකම පිතිකරුවකු ලකුණු 20 සීමාව ඉක්මවාලීමට අසමත් වූහ. බංග්ලාදේශ ඉනිම පුරාවට හයේ පහර 3ක් පමණක් වාර්තා වුන අතර, මුෂ්ෆිකර් රහීම්, සබීර් රෙහ්මාන සහ සෞම්‍ය සර්කාර් එහි හිමිකරුවන් වූහ.

විජේ ශංකර්ගේ පන්දු හමුවේ ලකුණු 07ක් ලබා සිටිය දී සහ ලකුණු 08ක් ලබා සිටිය දී පිළිවෙළින් සුරේෂ් රයිනාට සහ වොෂින්ටන් සුන්දර් අතට ලිටන් දාස් ලබා දුන් උඩ පන්දු ඔවුන් අතින් ගිලිහී නොගියේ නම් බංග්ලාදේශයේ තත්ත්වය මීට වඩා දරුණු වන්නට ඉඩ තිබුණ. කෙසේ වෙතත් ලොතරැයි වාසනා බඳු වූ එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ලිටන්, ඉනිමේ සාර්ථකම කඩුලු සම්බන්ධතාව වූ පස්වැනි කඩුල්ල වෙනුවෙන් සබීර් රෙහ්මාන් සමඟ ලකුණු 35ක් එක් කළහ.

පන්දු යවන්නන් අතරින් ජේදේව් උනද්කට් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගැනීම කැපී පෙනුණු අතර ඔහුගේ පන්දුවාර 4ට ලකුණු 38ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්වී තිබුණි. එහෙත් තරගයේ වීරයා සම්මානය ලකුණු 32ක් තුළ දී රහීම්ගේ සහ මහමුදුල්ලාගේ කඩුලු දවාගත් විජේ ශංකර්ට හිමි විය.

ක්‍රීඩාව, එක්කිරීමට මිස වෙන්කිරීමට නොවේ

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද ටෙස්ට් කඩුලු 800ම මගේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින…

මෙම තරගයට ඉන්දීය පිල එකම වෙනස්කමක් හෝ සිදු නොකර අවතීර්ණ වීම විශේෂත්වයක් වූ අතර බංග්ලාදේශය සිය දක්ෂතම ක්‍රීඩකයා වන තුන් ඉරියව් ක‍්‍රීඩක ශකීබ් අල් හසන් රහිතව තරග වැදුණි. ශ‍්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරුවරයකු වන ලින්ඩන් හැනිබල් ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙස කටයුතු කරන ලද පළමු තරගය ලෙස ද ඊයේ තරගය පත්වූ අතර එහි විනිශ්චය කටයුතු කරනු ලැබූ විනිසුරුවන් සිව් දෙනාම ශ‍්‍රී ලාංකිකයන් වීම ද විශේෂත්වයකි.

බංග්ලාදේශය පන්දුවාර 20- දී 139/8 යි ලිටන් දාස් 34, සබීර් රෙහ්මාන් 30, මුෂ්ෆිකර් රහීම් 18, ටමීම් ඉක්බාල් 15, සෞම්‍ය සර්කාර් 13, ජේදේව් උනද්කට් 38/3, විජේ ශංකර් 32/2, යුෂ්වේන්ද්‍රන් චහල් 19/1, ශර්දුල් ඨාකූර් 25/1*

ඉන්දියාව පන්දුවාර 18.4 කදී 140/4 යි ශිකර් ධවාන් 55, සුරේෂ් රයිනා 28, මනීෂ් පාන්ඬේ නොදැවී* 27, රෝහිත් ෂර්මා 17, රුබෙල් හොසේන් 21/4, ටස්කින් අහමඩ් 28/1, මුස්ටෆිසුර් රෙහ්මාන් 31/1*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<