මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද ටෙස්ට් කඩුලු 800ම මගේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල එක්දින තරගයේ දී ම උවයිස් කානයින් ලබාගත් කඩුලු 5ත් මගේය. ෆාසිල් මරීජා ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ උත්සාහක දිනුම් සියල්ල මගේ ද උත්සාහක දිනුම් ය. මොහොමඩ් සර්වාන් වාර්තා කරන සෑම පාපන්දු ගෝලයක්ම මගේ ද ගෝල වේ.

DS cruising bruising after heart-break against Isipathana

Isipathana College managed to secure a 25 points to 24 victory with a bonus point against D.S. Senanayake…

මුරලි මගේ වැඩිමහල් සොයුරෙකි. උවයිස් කානයින් මට මාමාවරයෙකි. ෆාසිල් ද මට සොයුරෙකි. සර්වාන් මට කුඩා සහෝදරයෙකි.

එතනින් නොනවතිමු. ෆර්වීස් මහරුෆ් ලබාගත් එක්දින කඩුලු ත්‍රිත්වය ඔහු වාර්තා කළේ මගේ රට වෙනුවෙනි. මොහොමඩ් රිෆ්ති වොලිබෝල් පිටිය මත දහදිය හෙලන්නේ මගේ රට වෙනුවෙනි. විනෝදන් ජෝන්, මහදේවන් සතාසිවම්, නල්ලයියා දේවරාජන්, ජෙෆ්රි වැන්ඩර්සේ, ජෙහාන් මුබාරක්, සුරාජ් රන්දිව්, තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් යන සියලු දෙනාම ක්‍රිකට් ක්‍රීඩා කළේ මගේ රට වෙනුවෙනි. 1994 දකුණු ආසියානු පාපන්දු ශූරතාවය දිනා ගැනීම සඳහා මොහොමඩ් අමුනුල්ලා අවසන් මොහොත දක්වා සටන් කළේ මගේ රට වෙනුවෙනි.

තුවාන් නිසාම් මුතාලිෆ් දිවිපිදුවේ මගේ රට වෙනුවෙනි. අසාම් අමීන් ලෝක ප්‍රකට මාධ්‍යවේදියෙකුව ඇත්තේ මගේ රට නියෝජනය කරමිනි. ලෝක පුරවැසියෙකු වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා කේම්බ්‍රිජ් සරසවියේ පළමු පෙළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සහ විවාද කණ්ඩායමේ නායකත්වය දැරුවේ ද මගේ රටේ පුරවැසියෙකුගේ අභිමානය සහිතවයි.

මොහිදීන් බෙග් පෝදා ගීත ගායනා කළේ ද, හරූන් ලන්ත්‍රා පෙම් ගීත ගායනා කළේ ද මගේ රටේ රසිකයන්ට ය. ටෝනි හසන්ගේ “මසා ගීත” අසමින් ද, ඩැල්රින් සුබීගේ වේග රිද්ම ගී කියමින් ද අපි මහා ක්‍රිකට් තරග රස වින්දෙමු. මේ, මගේ රටේ කතාවයි.

“ආගමික සහජීවනය” යනු තවදුරටත් අර්ථාන්විත වචනයක් නොවේ. එය අමන දේශපාලනඥයන් විසින් අවස්ථාවාදීව භාවිතා කරන “ගුණ්ඩුවකි”. “ජාතිවාදය” සහ “ජාතිකවාදය” මෙරට මිනිසුන් සැඟවීමට සොයන ආවරණයන් ය. තමන්ට අවශ්‍ය ආගමක් ඇදහීම හෝ අනුගමනය කිරීම තම තමන්ට අයත් කාරණයකි. එහෙත් එකිනෙකාට අවහිර වන ආකාරයෙන් සුනඛයන් සේ හැසිරෙන්නට කිසිවෙකුට අයිතියක් නැත. බල්ලන් 10 දෙනෙකු පමණ එකතුව පාර පුරා යමින් තම කාණ්ඩයට අයත් නොවන බල්ලන් සපා කා මරා දමනවා දුටුවොත් ඔබට ඇතිවන හැඟීම කුමක් ද?

මෙරට ඇතැම් මිනිසුන් (සියලුම ජාතීන්වලට අයත්) කාලයෙන් කාලයට සුනඛයන් සේ හැසිරෙන විට මට ඇතිවන්නේ ජුගුප්සාවකි. පසුගිය දා මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිවූ සිද්ධිය ගැන ද මට ඇතිවන්නේ එවන් හැඟීමකි. මෙරට ක්‍රීඩාව යම් තරමකට හෝ දියුණු නොවීම චින්තන බාධාවන්/දුර්වලතාවයන් ඇතිවීමට හේතුවන බව දැන් පැහැදිලි ය. ක්‍රීඩාව ඇත්තේ අපව එක්කිරීමටයි. සියලු දෙනා විවිධ හැකියාවන් ඇති මිනිසුන් බව අපට ඒත්තු ගැන්වීමටයි. එහෙත් අප ඉන් ඵල ලබා ඇත්ද?

මේ රටෙහි ජනතාවට කිසිදු ජාතිවාදී ප්‍රශ්නයක් නැත. සිදුව ඇත්තේ කුමක්ද?

ගමෙහි එකට එක්වී ක්‍රීඩාවක් කොට නැති, එකට එක්වී විනෝද වී නැති, අධ්‍යාපනයක් නැති, තමාටය කියා චින්තනයක් නැති සිංහල, මුස්ලිම්, දමිළ මෝඩයන් කිහිප දෙනෙකු විසින් දේශපාලන ගුණ්ඩු වලට යටත්වී මෝඩයන් උසිගැන්වීම නිසා සිදුවන මහා වින්නැහියකි සිදුව ඇත්තේ.

එකට එක්වී හුරේ දමා ක්‍රීඩාව රසවිඳි අපට සිදුව ඇත්තේ මොනවා ද? 1996 ලෝක කුසලානය, 2007 ලෝක කුසලාන දෙවන ස්ථානය අප සැමරූ හැටි ඔබට මතක ද? අරවින්ද ද සිල්වාගේ හෝ අර්ජුන රණතුංගගේ හෝ කුමාර් සංගක්කාරගේ ඉනිමක් රසවිඳින තරමටම අපට ඕනෑම ආගමක ශ්‍රී ලාංකිකයෙකුගේ දස්කම් රස විඳිය හැකිය. අපගේ රස නහර කපා දමන්නට අවස්ථාවාදීන්ට එතරම් පහසු නොවනු ඇත.

ඔබට කුමාර් සංගක්කාර ලෝකය හමුවේ කළ “කව්ඩ්රි දේශනයෙන්” වාක්‍ය ඛණ්ඩයක් උපුටා දක්වමි. ඔහු ලොවක් ඉදිරියේ සිදුකළ කතාව අවසන් කළේ මෙසේයි.

“ඒ ප්‍රේක්ෂකයන් මගේ පවුලයි. මා ඔවුන් වෙනුවෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. ඒ ජීවය තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ ජීවය. මාත් සමඟ ඒ සෑම මිනිසෙකුම සිටිනවා. මම දමිළ ජාතිකයෙක්, මම සිංහලයෙක්, මම මුස්ලිම් ජාතිකයෙක්, මම බර්ගර් ජාතිකයෙක්. මම බෞද්ධයෙක්, මම හින්දු ආගමිකයෙක්, ඉස්ලාම් සහ කතෝලික අනුගාමිකයෙක්. එහෙත් මේ සියල්ලටම වඩා, අද සහ සදාකාලිකවම, මා ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක්. ස්තුතියි.”

සංගක්කාර ලොව ඉදිරියේ කළ සම්පූර්ණ කතාව

ඒ කුමාර් සංගක්කාර ය. එහෙත් ඒ සමහරුන්ට සිතිය හැකි පරිදි “පිත්තක් ගෙන පන්දුවට තඩිබාන” කුමාර් සංගක්කාර පමණක් නොවේ. අධ්‍යාපනයේ දිගු ගමනක් ගිය, උසස් උපාධියක් සහිත කුමාර් සංගක්කාර ය. වසර ගණනාවක් පුරා ලොව වටා සංචාරය කළ කුමාර් සංගක්කාර ය. ලෝකයේම පිළිගැනීම ලද කුමාර් සංගක්කාර ය.

ඉදින් එවැනි අත්දැකීම් ප්‍රමාණයක් හෝ පෘථුල දැනුමකින් තොර අවස්ථාවාදීන්ගේ වදන් සරණ යන්නට ඔබට සිතේනම් එය මගේ ගැටලුවක් නොවේ. එය ඔබේ අධ්‍යාපනයේ ද, මෙරට සමස්ත අධ්‍යාපනයේ ද ගැටලුවකි.

මහනුවර සිද්ධිය ඇතිවීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩකයන් රාශියක් ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ තම කනගාටුව ප්‍රකාශ කරනු අපි දුටුවෙමු. මහේල ජයවර්ධන, චමින්ද වාස්, ඇන්ජලෝ මැතිව්ස්, උපුල් තරංග, දිමුත් කරුණාරත්න සහ තවත් බොහෝ දෙනා ඊට සිය විරුද්ධත්වය ප්‍රකාශ කළේය. ඔවුන් මෙහි සැබෑ ස්වභාවය දනියි. ඒ ඇයි? 80 දශකයේ ඇරඹුණු යුද්ධය නිසා අසාධාරණයට ලක්වූ 90 දශකයේ දරුවන් සහ තරුණයන් ඔවුන් වන බැවිනි. එහෙත් නොදන්නා අයට මෙය කියා දිය යුතුය.

අද පාකිස්තානයට සිදුව ඇත්තේ කුමක් ද? තැන තැන ඇතිවන කුලල් කාගැනීම් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ඔවුන්ගේ රටට කිසිදු ක්‍රිකට් කණ්ඩායමක් සංචාරය නොකරයි. ලෝකය හමුවේ ඔවුන්ගේ ප්‍රතිරූපය හානිවී ඇති තරම ඔබට අමතක ද? 1996 ලෝක කුසලානය පැවැත්වෙද්දී ද ශ්‍රී ලංකාව එවන් ලැජ්ජා සහගත මට්ටමක සිටි බව සිහිවේ. සමහර රටවල් මෙරටට සංචාරය කිරීම ප්‍රතික්ෂේප කළ ආකාරය කණගාටුදායක වූ නමුත් සාධාරණ ය. කිසිවකු ජීවිතය පුදා ක්‍රිකට් ක්‍රීඩා කරන්නට යන්නේ නැත.

මගේ රට අප්‍රිකාවක් නොවේ. “මරපල්ලා” කියූ සැණින් මිනිසුන් එකිනෙකා මරා ගන්නා තරමට අශිෂ්ටයන් මෙරට දැන් නැත. 1980 දශකයේ සිටි එවැන්නන් 30 වසරක යුද්ධයක් තම දරු පරපුරට දායාද කළ අතර අදටත් අප මේ දකින්නේ එහි අතුරු ප්‍රතිඵල යි. එවන් රටකට ලද හැකි දියුණුව කුමක් ද? මිනී දැකීමේ, මිනී මැරීමේ දුෂ්ට ආශාව කරපින්නාගත් සුළු කණ්ඩායමක් විසින් මෙරට ඉතිහාසයම වෙනස් කිරීමට ඉඩ දිය යුතු ද?

මේ සියලු නූගත්කම් තුට්ටුවකට මායිම් නොකරන විනෝද සැණකෙළියක් ගැන ද ඔබට සිහිකරන්නේ, “ලෝකය දැක නැත්නම් ලෝකය දැකගන්නටැ”යි සිහිකරමිනි. “රාජකීය – සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය”. එතැන කිසිදු ආගමක් නැත. ඇත්තේ රාජකීයයන් සහ තෝමසුවන්, එසේත් නැත්නම් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්” පමණි. මෙරට බොහෝ “උසස්” පාසල් වල ආගම්වාදයක් නැත. “උසස්” යැයි යෙදුවේ වුවමනාවෙන්මයි. එම පාසල් “උසස්”භාවයට පත්වූ හේතුව පැහැදිලි ද?

අපට වැරදුනේ ද එතැනම විය හැකිය. ආගම් ගැන කියවන එකදු දේශපාලකයෙකුටවත් මෙරට “ශ්‍රී ලාංකිකයාගේ” අනන්‍යතාවය ගොඩනැගිය නොහැකි විය. එය කළ හැකි එකම තැන ක්‍රීඩාව පමණකි.

දේශපාලනය යනු ක්‍රීඩාවට කිසිසෙයින්ම සම්බන්ධ නොවිය යුත්තකි. යුද්ධ සහ කෝලාහල පසුපස ද දේශපාලනය අඩුවැඩි වශයෙන් ඇති බව අපට රහසක් නොවේ. සියලු ආගම්වල සිටින අන්තවාදී කණ්ඩායම් වලට මෙය දිව අඳුනකි. ඔවුන්ගේ ජීවිතය රැඳෙන්නේ මිනී මතයි. එබැවින් ගැටුම් සොයන, ගැටුම් අගය කරන දෙපාර්ශවයම අත්හැර දමමු. ඔවුන් හා “ශ්‍රී ලාංකික” අපට ගනුදෙනුවක් නැත.

ඇතිවූ කණගාටුදායක සිදුවීම් පෙළ ගලායද්දී ක්‍රීඩාශීලී, ක්‍රීඩාලෝලී අප අපගේ එකමුතුකම රඳවා ගනිමු. කේලම් කියන, කටකතා කියන, ගම්වල අහිංසකයන් රවටන ප්‍රකාශ තරයේ හෙලා දකිමු. උගත්කම් ගැන පාරම් බෑම පසෙකලා උගතුන් සේ හැසිරෙමු. ක්‍රීඩාව තුළින් අපගේ එකමුතුභාවය පෙන්වමු. එවිට අප බෙදන්නට එන දෙපිලේම අවස්ථාවාදීන්ට මෙසේ පිළිතුරු දිය හැකිවනු ඇත. “මෝඩයිනි! මෙරටින් පිටව යව්”.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<