බංග්ලාදේශය ශ්‍රී ලංකාව එරෙහිව වැඩ පටන්ගනී

318
BCB

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ සංචිතය සඳහා නේවාසික පුහුණු කඳවුරක් ආරම්භ කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ.

පසුගිය ජූලි මාසයේ දී ආරම්භ වීමට නියමිතව තිබූ බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අවලංගු කිරීමට සිදු වූයේ කොරෝනා වයිරසය නිසාවෙනි. කෙසේ වෙතත් වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය පාලනය වන මට්ටමකට පැමිණ තිබීමත් සමඟින් අවලංගු කෙරුණු එම තරගාවලිය නැවත ආරම්භ කිරීමට දෙරටේම ක්‍රිකට් ආයතන සිය අවධානය යොමු කර තිබුණි. 

ඒ අනුව එම තරගාවලිය සඳහා ක්‍රීඩකයන් පුහුණු කිරීම සඳහා මෙලෙස සතියක නේවාසික කඳවුරක් සැලසුම් කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ උපදෙස් පරිදි සෞඛ්‍ය ආරක්ෂක හේතූන් මත මෙම කඳවුර සඳහා සාමාන්‍ය සංචිතයට වඩා වැඩි ක්‍රීඩකයන් ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර එම පුහුණු සැසියේ දී තරගාවලිය සඳහා සහභාගී වන අවසන් සංචිතය තෝරාගැනීමට නියමිතය.

මෙම නේවාසික පුහුණු කඳවුර එළඹෙන සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ වීමට මේ වන විට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වීමට පෙර එම ක්‍රීඩකයන් සඳහා අදියර තුනකින් යුත් කොරෝනා වයිරස් පරීක්ෂණ පැවැත්වීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. 

සංචාරය අතරතුර හෝ සංචාරයට පෙර යම් ක්‍රීඩකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඒ පිළිබඳව ඉක්මන් පියවර ගැනීම සඳහා වෛද්‍ය කණ්ඩායම සමඟින් නිරන්තරයෙන් සාකච්ඡා කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇත.

“මේ පුහුණු සැසියට සහභාගී වන හැම ක්‍රීඩකයාගෙම ගෙදරට ගිහින් ඔවුන්ට මේ වයිරසය ආසාදනය වෙලාද කියලා අපි පරීක්ෂා කරනවා. සැප්තැම්බර් 18 වැනිදා ඒ පරීක්ෂණ කරන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔවුන් සැප්තැම්බර් 20 වෙද්දි හෝටලයට අරන් එනවා. ඉන් පස්සේ තමයි අපි පුහුණු සැසිය පටන්ගන්නේ. ඒ සැප්තැම්බර් 21. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවට යන්න කලින් සතියක් වගේ කාලයක් පුහුණුවීම් කරන්න” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයෙකු වන අක්‍රම් ඛාන් මෙම පුහුණු සැසිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේ දී පවසා සිටියා.  

තවත් ක්‍රිකට් පුවත්

“අපේ සංචිතයට ක්‍රීඩකයන් 20ත් 22ත් අතර ගණනක් ඇතුළත් වේවි. මේ කොරෝනා වයිරසයත් එක්ක කටයුතු කරද්දී අපිට මොන තත්ත්ව වලට මුහුණ දෙන්න වේවි ද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා අතිරේක ක්‍රීඩකයන් වැඩි ගණනක් යොදාගන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලය තුල ටෙස්ට් තරග කිහිපයකට ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

“ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක පැවති අවසන් තරගාවලියේ දී අපේ කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කීපදෙනෙක් මේ සංචිතයට ඇතුළත් වෙනවා. මේ පුහුණු කාලය තුල තරග කීපයකට ක්‍රීඩා කරන්න අපි දැනට සැලසුම් කරලා තියනවා. ඒකෙන් අපට තරගාවලියට සුදුසු ක්‍රීඩකයින් තෝරා ගන්න අවස්ථාවක් ලැබේවි. ඒ වගේම ශ්‍රී ලංකාවේදීත් පුහුණු තරග තුනක් හෝ හතරක් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ තරග වලින් තේරීම් කමිටුවට නිවැරදි ක්‍රීඩකයින් තෝරා ගන්න අවස්ථාව ලැබේවි.”

පසුගිය මාර්තු මාසයේ දී ව්‍යාප්ත වූ කොරෝනා වයිරසය නිසා එරට සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් අවලංගු කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබුණි. පසුගිය මාසයේ අග භාගයේ දී තනි පුද්ගල පුහුණු සැසි සඳහා එම ආයතනය පියවර ගත්තේය. 

ටෙස්ට් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය ජූලි-අගෝස්තු මාසවල පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් පැතිර ගිය කොරෝනා වසංගතය නිසා එම තරගාවලිය දින නියමයක් නොමැතිව කල් තබන ලදි. ඉන් අනතුරුව සැප්තැම්බර් 23 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබූ අතර පසුව එය සැප්තැම්බර් 27 දක්වා කල් දමා ඇත.

මෙම තරගාවලියේ නිරෝධායන කාලසීමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනස් මතයක් ඉදිරිපත් කරමින් සිටින බවත්, ඔවුන්ගේ තීරණ මත පදනම්ව තම අවසන් සැලසුම් සකස් කරන බවත් අක්‍රම් මහතා පැවසීය.

“මේ සංචාරය විශාල සංචාරයක්. ඒ වගේම ලොකු අවදානමක්. ශ්‍රී ලංකාවේ නිරෝධායන නීති ගැන අපිට තවම තහවුරු කිරීමක් ලැබිලා නැහැ. ඔවුන් කලින් දැනුම්දීලා තිබුණා අපේ ක්‍රීඩකයන් දින 14ක් නිරෝධායනයට ලක්කරන්න අවශ්‍යයි කියලා. ඒත් ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් තරමක් පාලනය වෙලා තියන නිසා දැන් ඔවුන් අපිට දැනුම් දුන්නා මේ නිරෝධායන කාලය දවස් තුන හතරක් වේවි කියලා. නිරෝධායන කාලය ගැන ඔවුන් අවසන් තීරණය ඉක්මනින් දැනුම් දේවි. ඒත් එක්ක අපි අපේ අවසන් සැලසුම් සකස් කරන්න බලාපොරොත්තු වෙනවා.” 

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රසල් ඩොමින්ගෝ සැප්තැම්බර් මස 2 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිත බව CRICBUZZ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි. ඉන් අනතුරුව සෙසු පුහුණුකරුවන් ද බංග්ලාදේශයට පැමිණීමට නියමිත අතර ඔවුන්ද දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වනු ඇත.

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය වසර 6 කට පසු බංග්ලාදේශ කණ්ඩායම සහභාගී පළමු තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය වනු ඇත. 

ශ්‍රී ලංකාව තුල මේ වන විට කොරෝනා ආසාදිතයින් 2902 ක් වාර්තා වී ඇති අතර ඉන් 2755 ක් සුවය ලබා ඇත. 

බංග්ලාදේශය තුල පවතින තත්ත්වය තරමක් බරපතළ වන අතර මේ වන විට එරට ආසාදිතයින් සංඛ්‍යාව 280,000 ද ඉක්මවා ඇත. එරටින් දිනකට වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 3000කට ආසන්න වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<