දඹුල්ලට අලුත් හිමිකාරයෙක්; නමත් වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

410

මෙම වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන දඹුල්ල කණ්ඩායමේ අනුග්‍රාහකත්වය දරන කණ්ඩායම අද (02) නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණා. ඒ 2020-2024 කාලය සඳහා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නිල අනුග්‍රාහකත්වය දරන Innovative Production Group (IPG) FZE ආයතනය විසින්. 

එම ආයතනය විසින් නිකුත් කළ නිවේදනයට අනුව දඹුල්ල කණ්ඩායමේ නව හිමිකාරිත්වය Q Khan හට හිමිව තිබෙනවා. ඔහු ලන්ඩන් නගරය කේන්ද්‍ර කර ගත් HAMRO නම් ආයතනයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂකවරයා වනවා. HAMRO හි ප්‍රධාන මූලස්ථානය ලන්ඩන්හි මූල්‍ය පළාත වන Canary Wharf හි පිහිටා තිබෙනවා.

දඹුල්ල කණ්ඩායම HAMRO විසින් මිල දී ගැනීමෙන් අනතුරුව එහි නම Dambulla Giants ලෙස වෙනස් වී තිබෙනවා. 

දේපළ වෙළදාම් අංශයේ කැපී පෙනෙන නාමයක් හිමිකරගෙන සිටින Q Khan මහතා ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි මහත් ඇල්මක් දක්වන පුද්ගලයෙක්. ක්‍රිකට් ක්‍රීඩාවේ පහළම මට්ටමේ සිට වෘත්තීය පළමු පෙළ දක්වා ඔහු සිය දායකත්වය දක්වා තිබෙනවා. එහි දී ඔහු එංගලන්තයේ ක්‍රීඩා සංවර්ධන ආයතන වන Lord Taverners, Essex Cricket Foundation, Surrey Cricket Foundation, MCC Foundation සහ ජාතික වේගපන්දු ඇකඩමිය සඳහා සක්‍රීය දායකත්වය සපයා තිබෙනවා. 

HAMRO සහ Q Khan මහතාගේ හිමිකාරිත්වය පිළිබඳව Innovative Production Group FZE හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වන Anil Mohan අදහස් දක්වා සිටියා. 

“මම සහ IPG කණ්ඩායම Q Khan මහතාට සුභාශිංශන එක් කරනවා. ඔහු මේ ක්‍රීඩාවට සැබෑම ඇල්මක් දක්වන කෙනෙක්. ඔහුට ඔහුගේ මේ අළුත් කණ්ඩායමට අපි සුබ පැතුම් එක් කරනවා. අපි ඔහු සමඟින් ඉදිරි වැඩකටයුතු කරන්න බලාගෙන ඉන්නවා”, ඔහු පවසා සිටියා.

මීට අමතරව IPG ආයතනයේ විධායක අධ්‍යක්ෂ Jawad Ghulam Rasool ද අදහස් දක්වා තිබුණා.

“Q Khan ඔහුගේ හිමිකාරිත්වය එක්ක මේ තරගාවලියට බොහෝ දේ අරන් එනවා. ඔහුගේ අත්දැකීම් සහ ඒ ඇල්ම ඉතාමත් දුර්ලභ දෙයක්. අපි ඔහුත් එක්ක වැඩ කරන්න සහ ඔහුගේ අත්දැකීම්වලින් ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” 

Q Khan මහතා පසුගිය වසර කීපය තුල ප්‍රධාන තරගාවලිය කීපයක් සඳහා සිය දායකත්වය ලබා දුන්නා. ඒ අතරින් පසුගිය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ MCC හි පාකිස්තාන සංචාරයේ සත්කාරකත්වය ද ඔහුට හිමි වුනා. ඔහු පසුගිය වසර 20ක කාලය තුල ඔහු සක්‍රීයව දායකත්වය දැක්වූ Buckhurst Cricket Club ක්‍රීඩා සමාජයේ වත්මන් ක්‍රිකට් සභාපති සහ සමාජ උප සභාපති ද වනවා.

“මේ දුර්ලභ සහ සුවිශේෂී අවස්ථාව මට හිමි වීම පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මගේ අත්දැකීම්වලින් Dambulla Giants කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් බවට පත්කරන්න මම  බලාපොරොත්තු වෙනවා”, සිය නව හිමිකාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් Q Khan මහතා පවසා සිටියා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර පසුගිය වසරේ නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. ඒ විශේෂ ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුලයි. මෙම තරගාවලිය වාර්තා පොත් අලුත් කරමින් මිලියන 557ක වාර්තාගත ප්‍රේක්ෂක ප්‍රමාණයක් රූපවාහිනී, ඩිජිටල් මාධ්‍ය සහ සෙසු මාධ්‍ය ඔස්සේ නරඹා තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය දැරූ ආයතන වෙත ඇමරිකානු ඩොලර් මිලියන 54.5ක මාධ්‍ය තක්සේරුවක් ලැබී තිබුණා. තරගාවලියේ සන්නාම සත්කාරකත්වය සැපයූ MY11CIRCLE ආයතනයට 9.85x ROI අගයක් හිමි වීමත් විශේෂත්වයක්. 

තරගාවලියේ ශූරතාවය දිනා ගත් Jaffna Stallions තරගාවලියේ වැඩිම තක්සේරුවක් සහිත කණ්ඩායම බවට පත්වූ අතර ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 3.98ක තක්සේරුවක් හිමි වුනා. Galle Gladiators, Dambulla Viikings, Colombo Kings සහ Kandy Tuskers පිළිවෙළින් ඇමරිකානු ඩොලර් මිලියන 3.82ක්, 3.54ක්, 3.44ක් සහ 3.19ක තක්සේරුවක් හිමිකරගෙන තිබුණා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සජීවීව Sky Sports, Sony Sports Network, Geo, PTV, සහ Willow TV යන මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාව, ඉන්දියා, පාකිස්තානය, බංග්ලාදේශය, එක්සත් රාජධානිය, ඇමරිකාව, කැනඩාව, අයර්ලන්තය සහ නවසීලන්තය වෙත විකාශය කෙරුණා. එහි දී මිලියන 155ක ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් සජීවීව තරගාවලිය නරඹා තිබුණා. තරගාවලිය සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 218ක පැතිරීමක් (reach) වාර්තා කර තිබූ අතර mention කිරීම 133,478ක් වාර්තා වුනා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<