19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය අවිශ්කට

190

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන සහ හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩක මහින්ද හලංගොඩ යන මහත්වරුන් පිළිවෙළින්, ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකරු ලෙස තෝරාපත් කර තිබෙනවා.

අවිශ්ක ගුණවර්ධනගේ පත්වීම 2020 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලාත්මක වන අතර මහින්ද හලංගොඩගේ ධුර කාලය 2022 පැවැත්වීමට නියමිත ICC 19න් පහළ ලෝක කුසලානය දක්වා බලාත්මක වනු ඇත.

2019 වර්ෂයේ දී එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතනය විසින් අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ICC හමුවේ චෝදනා ගොනු කර අතර පසුව ඔහුට ක්‍රිකට් වාරණයක් ද ICC විසින් පනවා තිබුණා. නමුත් අවිශ්ක ගුණවර්ධන විසින් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නට ICC පසුව කටයුතු කළා. 

තහනම ඉවත් කිරීමෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ඔහුගේ දායකත්වය ලබා දෙන පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ පාකිස්තාන – ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරගාවලියේ දී ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ගුණවර්ධන සූදානම්ව සිටි නමුත් එම අවස්ථාව ඔහුට මග හැරී ගියේ එම තරගාවලිය කල් දැමීමට කටයුතු කළ නිසාවෙනි. 

 

අවිශ්ක මින් පෙර ශ්‍රී ලංකා A සහ නැගී එන ක්‍රිකට් කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් දක්ෂතාවලින් පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් මෙරටට බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරන ලදි. 

මහින්ද හලංගොඩ මෙරට පළමු පෙළ ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකු වන අතර ඔහු SSC ක්‍රීඩා සමාජය නියෝජනය කළා. සාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු මින් පෙර ද 19න් පහළ කණ්ඩායමේ කළමනාකරුවෙකු වශයෙන් කටයුතු කර තිබෙනවා. 

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඉදිරියේ දී බංග්ලාදේශය සහ එංගලන්තය සමඟ තරග වැදීමට නියමිතයි. ඊට අමතරව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 19න් පහළ ආසියානු කුසලානය සඳහා ද සහභාගී වීමට නියමිත අතර ඉන්පසුව ඔවුන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලානයට ද සහභාගී වීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<