2022 IPL එකට ස්වාධීන ක්‍රීඩාංගණ ගේන්න සැලැස්මක්

346
Neutral venues for expanded IPL 2022

2022 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තවත් කණ්ඩායම් දෙකක් ඇතුළත් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති අතර ඒ අනුව තරගාවලිය සඳහා සහභාගී වන මුළු කණ්ඩායම් ගණන 10ක් දක්වා ඉහල ගොස් තිබේ. 

කණ්ඩායම් ප්‍රමාණය ඉහල යාමත් සමඟින් තරගාවලිය පැවැත්වෙන කාල සීමාව සහ තරග සංඛ්‍යාව ද ඉහල ගොස් තිබේ. 

Hindustan Times පුවත්පත පසුගිය දා පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් නොමැති ප්‍රාන්ත ද තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට අවසර ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බවයි. 

තරග 90කට ආසන්න තරග සංඛ්‍යාවක් සහිතව දීර්ඝ තරගාවලියක් පැවැත්වීමේ දී ක්‍රීඩාංගණවලට ඇති වන හානිය වැළැක්වීමත්, කණ්ඩායමක් නොසිටිය ද එම ප්‍රාන්තවල ක්‍රිකට් ආයතන සඳහා යම් ලාභයක් උපයා ගැනීමත්‍ ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත. 

මෙලෙස ඉල්ලීම් කර ඇති ක්‍රීඩාංගණ අතරට මෑතක දී අහමදාබාද්හිදී විවෘත කළ Motera ක්‍රීඩාංගණය ද ඇතුළත් වී තිබේ. කෙසේ වෙතත් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන නව කණ්ඩායමක් අහමදාබාද් කේන්ද්‍ර කරගනිමින් ඇතුළත් කිරීමට අවස්ථාවක් ඇති බව ද ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග පවසා තිබුණි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය දැරීමට ඉල්ලීම් කළ සෙසු නගර ලෙස ලක්නව්, කෝචි සහ විශාඛාපට්නම් ඉදිරියෙන් සිටින බව Hindustan Times පුවත්පත වාර්තා කර තිබේ. 

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අපි කණ්ඩායම් 10ක තරගාවලියක් බවට පත් කරනවා නම් අපිට පුළුවන් ඔවුන් ඔවුන්ගේ ප්‍රාන්තයේ ක්‍රීඩා කරන තරගවලින් තරග දෙකක් ස්වාධීන ක්‍රීඩාංගණයක පවත්වන්න” Saurashta ක්‍රිකට් සම්මේලනයේ ප්‍රධානී Jaydev Shah ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන රැස්වීමේ දී යෝජනා කර තිබේ. 

“ඒකෙන් අපිට පුළුවන් තරග අඩු කුඩා ක්‍රීඩාංගණවලට අත්දැකීමක් ලබා දෙන්න. මම හිතන්නේ ඒක තමයි හොඳම විදිහ තරගාවලිය පවත්වන්න. අපිට තවමත් නිශ්චිත තීරණයක් ලැබුණේ නැහැ. ඒත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායක කමිටුව ඒ ගැන සලකා බලනවා කියලා තහවුරු කළා.” 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සත්කාරකත්වය දැරීම ප්‍රාන්ත ක්‍රිකට් ආයතනයකට විශාල අවස්ථාවක් වනු ඇත. තරගාවලියේ එක් තරගයක් පැවැත්වීමේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය සහ අදාළ කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටියක මුදලක් එම ක්‍රීඩාංගණයට ලබා දේ. තරගය පැවැත්වීමට අදාල සියලුම සැලසුම් සහ සෙසු වියදම් දරනු ලබන්නේ ඒ ඒ කණ්ඩායම්වල සංවිධායක කමිටුව විසිනි. තරගයේ ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම සෘජුවම කණ්ඩායමට හිමි වේ.

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් ස්වාධීන ක්‍රීඩාංගණ සඳහා කණ්ඩායම් හිමිකරුවන් එකඟ වේ දැයි අවිනිශ්චිතය. එයට ප්‍රධානම හේතුව වන්නේ ඒ ඒ කණ්ඩායම්වලට අදාළ ප්‍රාන්ත ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමේ දී කණ්ඩායමට ලැබෙන ප්‍රේක්ෂක සහයෝගය අහිමි වීමයි.

“කණ්ඩායම් මේ තීරණයට එකඟ වේවි කියලා හිතන්න අමාරුයි. ඕනෑම කණ්ඩායමක් ඔවුන්ට වඩාත් පුරුදු ඔවුන්ගේ තණතීරුවේ ක්‍රීඩා කරන්න සෑමවිටම උත්සාහ කරනවා. Chennai Super Kings ගත්තම ඔවුන් චෙන්නායි ක්‍රීඩාංගණයේ දී විශේෂ දස්කම් දක්වනවා. ඒ ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ දඟපන්දු යවන්නන්ට අතිශයින්ම වාසිදායක ක්‍රීඩාංගණයක්” ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි සංවිධායක කමිටුවේ හිටපු ප්‍රධානියෙකු මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබේ. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායම් 13ක් සහභාගී වී ඇති අතර එයට සත්කාරකත්වය සපයා ඇත්තේ ක්‍රීඩාංගණ 20ක් පමණි. මීට පෙර ද තරගාවලිය සඳහා ස්වාධීන ක්‍රීඩාංගණ යොදා ගත් අතර ඒ යම් කණ්ඩායමක ක්‍රීඩාංගණයක් තරගාවලිය සඳහා යොදාගැනීමට නොහැකි වූ අවස්ථාවක දී ය. 

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් හිමිකරුවන් සහ සෙසු ප්‍රාන්තවල ක්‍රිකට් ආයතන සියල්ල සමබරව පවත්වා ගැනීම ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ප්‍රබලම අභියෝගය වී තිබේ. 

කෙසේ වෙතත් ප්‍රාන්ත ක්‍රිකට් ආයතන විසින් යෝජනා කළ මෙම ස්වාධීන ක්‍රීඩාංගණ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙතෙක් නිල තීන්දුවක් ගෙන නොමැත. 

Hindustan Times ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<