යොවුන් දැල්පන්දු කුමරියන් ජයග්‍රාහීව ශ්‍රී ලංකාවට

230

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු ශූරතාවයේ තෙවැනි ස්ථානය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම ඉකුත් සතියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා.

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ආසියාවේ තෙවැනි තැනට

11 වැනි ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා….

හොංකොං කණ්ඩායම ලකුණු 75-49ක් ලෙස පරාජය කළ ඔවුන් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තා. අවසන් පූර්ව වටයේ දී ඔවුන් පරාජය වූයේ ප්‍රබල මැලේසියාව හමුවේයි. තරගාවලිය පැවැත්වුණේ ජපානයේ කශිමා ක්‍රීඩා සංකීර්ණයේ දීයි.

දිවයිනට පැමිණීමෙන් පසුව යොවුන් දැල්පන්දු කණ්ඩායමේ නායිකා තරුෂි ඉලංගරත්න ThePapare.com හමුවේ මෙසේ අදහස් දක්වමින් පවසා සිටියේ පසුගිය වසරේ හතරවැනි ස්ථානයෙන් එක් පියවරක් ඉදිරියට විත් තෙවැනි ස්ථානය දිනා ගැනීම තමාට ඉතා සතුටක් බවයි. 

“තායිලන්ත, නේපාල, කොරියා තරග අපි හොඳ ලකුණු ගණනකින් දිනා, පළමු වටයේ සිංගප්පූරු තරගය තමයි අමාරු වුනේ. ඒකත් අපි ලකුණු 8කින් තමයි පැරදුණේ.” ඇය තරගාවලියේ පළමු වටය පිළිබඳ අදහස් දක්වා සිටියා.

“ඒ තරගයේ දී එයාලා වේගයෙන් සෙල්ලම් කළා. අපි එයාලගේ වේගයටම ක්‍රීඩා කරන්නේ නැතුව තරගයේ රිද්මය වෙනස් කළා නම් අපිට දිනන්නත් තිබුණා.”

“අපි ටිකක් කලබල වුනා, ඒ නිසාම අපිට ලකුණු පරතරය අඩු කරගන්න බැරි වුනා.”

මැලේසියාව සමඟ අවසන් පූර්ව තරගයේ පිළිබඳ තරුෂි මෙසේ අදහස් දක්වා සිටියා. “අපිට සිංගප්පූරුවට වඩා මැලේසියාව එක්ක තරගය අමාරු වුනා. එයාලගේ රිද්මය අල්ලගන්න අමාරු වුනා. ඒක නිසා තමයි ඒ තරගයෙන් අපිට පරාජය වන්නට සිදු වුනේ. අපි උපරිම උත්සාහය ගත්තා ඒ තරගය ජය ගන්න.”

“කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාම මෙම තරගාවලිය ජයග්‍රහණය කරන්න සිය උපරිම දායකත්වය ලබා දුන්නා.” තරුෂි සිය කණ්ඩායම පිළිබඳ වදනක් එකතු කරන්නටත් අමතක කළේ නැහැ.

කෙටි කාලයක් තුළ සංචිතය රැස් කරමින් කණ්ඩායම පුහුණුකර, ඉතිහාසගත වන ජයක් වාර්තා කිරීමට හැකි වීම පිළිබඳ තමන් ඉතා සතුටු වන බව කණ්ඩායමේ පුහුණුකාරිණි මලිඳු කුමාරි මහත්මිය පවසා සිටියා. එමෙන්ම ඇය ශ්‍රී ලංකා දැල් පන්දු රසිකයින්ට ඉතා විශේෂ පුවතක් ද ලබා දුන්නා. 

“අපි යොවුන් ලෝක ශූරතා තරගාවලිය සඳහා සුදුසුකම් ලැබුවා. එය ඉතා භාග්‍යයක්”

“කෙටි කාලයක් පුහුණුවීම් කරලා මෑත ඉතිහාසයේ අපි වාර්තා කළ ඉහළම ලකුණු ගණන නේපාලයට එරෙහිව වාර්තා කළා. ඒ නේපාලයට එරෙහිව ලකුණු 136 ක් වාර්තා කරමින්.”

“පුහුණුවීම් කරන්නට ලැබුණු අඩු කාලය හා තරග අත්දැකීම්වල මදි බව නිසා ඔවුන් පළමු හා දෙවන කාර්තු වල තරගයේ රිද්මයට පිවිසුණේ නැහැ. නමුත් අපි දැක්කා තෙවැනි හා සිව්වැනි කාර්තුවල ඔවුන් ඉතා ප්‍රබල ලෙස ක්‍රීඩා කරනවා.”

“පුහුණුකාරිණියක් ලෙස මා මේ ලද ජයග්‍රහණය ඉතා අගය කොට සලකනවා. සිංගප්පූරුව සමඟ තරගය ලකුණු අටකින් පරාජය වුනා. ඒ වුනත් මා එය පරාජයක් කොට සලකන්නේ නැහැ. දින විසි තුනකින් ලද මේ ජයග්‍රහණය මා ඉතා අගට කොට සලකනවා.” යොවුන් දැල්පන්දු පුහුණුකාරිණිය අප හමුවේ අදහස් පළ කළේ එලෙසයි.

“මැදපෙළ ක්‍රීඩිකාවන්, විදින්නියන්, ආරක්ෂක ක්‍රීඩිකාවන් සියලු දෙනා ඉතාම හොඳින් ක්‍රීඩා කළා. අපිට ලැබුණු අවම කාලය නිසා තමයි අපි අතින් අතපසුවීමක් සිදු වුනා නම් සිදු වුනේ. මේ කණ්ඩායම ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලොකු ගෞරවයක් ගෙන ඒවි.” ඇය කණ්ඩායම පිළිබඳ වදනක් එකතු කරන්නටත් අමතක කළේ නැහැ.

යොවුන් දැල්පන්දු කණ්ඩායමේ ප්‍රහාරිකාවක් ලෙස ක්‍රීඩා කරන මෙලනි විජේසිංහ තරගාවලිය පුරා සුපිරි දස්කම් දැක්වූයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කරමින්. කණ්ඩායමේ උපනායිකාව ලෙස ද කටයුතු කරන ඇය මෙසේ අදහස් දක්වා සිටියා.

“සිංගප්පූරුව සමඟ තරගය පරාජය වුනත් අපි ඉලක්කය අතහැරියේ නැහැ. අපි කොහොමහරි තෙවැනි ස්ථානය ලබා ගත්තා.”

“අපිට ගොඩක් අත්දැකීම් ලැබුණා. කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් ඉටු කරන්න ලැබීම සතුටුයි.”

“පෙර පුහුණුවීම් අතරතුර තවත් තරගාවලි කිහිපයක් ලැබුණා නම් වෙනසක් වෙන්නටත් ඉඩ තිබුණා.” 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<