යොවුන් ක්‍රීඩකයෝ NSL දක්ෂතා ලැයිස්තු ආක්‍රමණය කරයි

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

812
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

සති අන්ත 7ක දී නිමා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ 2023 ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දී ද්විත්ව ශතක 2ක්, ශතක 18ක් සහ අර්ධ ශතක 45ක් වාර්තා වූ අතර කඩුලු 5කට වැඩියෙන් දවා ගත් අවස්ථා 13ක් වාර්තා වුනා.

මේ දක්ෂතා අතර වැඩි වශයෙන් ම සැරිසැරුවේ තවමත් පළමු පෙළ තරග පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් වීම සුවිශේෂී සිදුවීමක්.

තරගාවලියේ ගමන් මග
කණ්ඩායම 1 කණ්ඩායම 2 තරගයේ ප්‍රතිඵලය ක්‍රීඩාංගණය
1 කොළඹ මහනුවර මහනුවර කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 279ක ජයක්. SSC
2 දඹුල්ල ගාල්ල ගාල්ලට ඉනිමක සහ ලකුණු 70ක ජයක්. RPS
3 යාපනය දඹුල්ල දඹුල්ලට කඩුලු 5ක ජයක්. SSC
4 මහනුවර ගාල්ල ගාල්ලට කඩුලු 10ක ජයක් පී. සරා
5 දඹුල්ල මහනුවර තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දමන ලදි. දඹුල්ල
6 යාපනය කොළඹ තරගයේ විසඳුමක් නෑ. පල්ලෙකැලේ
7 ගාල්ල කොළඹ තරගයේ විසඳුමක් නෑ. සූරියවැව
මහනුවර යාපනය යාපනය කඩුලු 4ක ජයක්. SSC
කොළඹ දඹුල්ල තරගයේ විසඳුමක් නෑ. සූරියවැව
ගාල්ල යාපනය තරගයේ විසඳුමක් නෑ. ගාල්ල
අවසන් පූර්ව තරග
දඹුල්ල යාපනය දඹුල්ලට ලකුණු 133ක ජයක්. පී. සරා
ගාල්ල මහනුවර තරගයේ විසඳුමක් නෑ. RPS
අවසන් මහා තරගය
ගාල්ල දඹුල්ල දඹුල්ලට ලකුණු 75ක ජයක්. ගාල්ල

රමේෂ් මෙන්ඩිස්තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා (ගාල්ල)

මේ දිනවල නවසීලන්ත තරග සංචාරය සමඟ එක් ව සිටින රමේෂ් මෙන්ඩිස් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් නම් කෙරුණා. නවසීලන්ත සංචිතය සමඟ එක් ව සිටීම හේතුවෙන් රමේෂ්ට මෙම තරගාවලියේ දී සහභාගී වීමට හැකි වූයේ තරග 3කට පමණයි.

එහි දී රමේෂ් කොළඹ කණ්ඩායමට එරෙහිව ශතකයක් සහ දඹුල්ල කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් සමඟින් ඉනිම් 3ක දී ලකුණු 219ක් රැස් කරනවා. එම ඉනිම්වල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 73.0ක් දක්වා රඳවා තබා ගැනීමට රමේෂ් සමත් වෙනවා.

පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වන රමේෂ් ඉනිම් 5ක පන්දුවාර 80.4ක් යවමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 11ක්.

අහන් වික්‍රමසිංහ – තරගාවලියේ දක්ෂතම පිතිකරු (මහනුවර)

21 හැවිරිදි දකුණත් පිතිකරු අහන් වික්‍රමසිංහ තරග 4ක ඉනිම් 7කට සහභාගී වෙමින් ලබා ගත් ලකුණු ප්‍රමාණය 448ක්. ඊට කොළඹ සහ යාපනය කණ්ඩායම්වලට එරෙහිව ලබා ගත් ශතක 2ක් සහ ගාල්ලට, යාපනයට සහ නැවත ගාල්ලට එරෙහිව ලබා ගත් අර්ධ ශතක ත්‍රිත්වයක් ද ඇතුලත්.

තරගාවලියේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා (10) වූයේ ද අහන්. මෙම තරගාවලිය නිමාවත් සමඟින් අහන් තම පළමු පෙළ ඉනිම් 21ක දී ලකුණු 1000 වාර්තා කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

ශෂික දුල්ශාන් – තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා (යාපනය)

22 හැවිරිදි වමතින් දඟපන්දු යවන ශෂික දුල්ශාන් තරගාවලියේ දක්ෂතා දැක් වූ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමුවැනියා වෙමින් මෙම ඇගයීම ලබනවා. ඉනිම් 6ක දී පන්දුවාර 112.5ක් යවන ඔහු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 22ක්.

මෙවර තරගාවලියේ දී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ලකුණු 131කට ලබා ගත් කඩුලු 6යි. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ලකුණු 77කට කඩුලු 3ක් දවා ගන්නා ඔහු තරගයේ දී ලකුණු 208කට කඩුලු 9ක් දවා ගනිමින් එය තම පළමු පෙළ හොඳම පන්දු යැවීම බවට ද පත් කර ගත්තා.

මේ දක්වා පළමු පෙළ ඉනිම් 31ක දී පන්දු යවා ඇති ශෂික ලබා ඇති කඩුලු සංඛ්‍යාව 96ක්.

මිනෝද් භානුක

මේ කෙසේ වෙතත් තරගාවලියේ පිතිකරු ලැයිස්තුව පෝෂණය කළ අය අතර ප්‍රමුඛයෙන් ම සටහන් වෙන්නේ දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක. ඔහු තරග 5කට සහභාගී වෙමින් ඉනිම් 10ක දී ලකුණු 456ක් ලබා ගනිමින් එම අසුන වෙන් කර ගන්නවා.

එම ඉනිම් අතර කොළඹ කණ්ඩායමට එරෙහිව පන්දු 216කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 186ක් ද ඇතුලත්. මෙම තරගාවලිය තුළ ද මිනෝද් තම පළමු පෙළ ලකුණු 5000 කඩඉම පසු කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

සොහාන් ද ලිවේරා

අවසන් තරග ත්‍රිත්වයේ දී ගාල්ල සමඟ එක් වීමට වරම් ලබා ගන්නා 22 හැවිරිදි වමත් ආරම්භක පිතිකරු සොහාන් ද ලිවේරා ඉනිම් 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 319ක්. තරගාවලියේ තම පළමු තරගයේ දී ම ශතකලාභීන් අතරට එක් වෙන සොහාන් ඊට පසුව මුහුණ දුන් තරගයේ දී ද ශතකයක් වාර්තා කරමින් පිට පිට තරග 2ක දී ශතක වාර්තා කළ තරගාවලියේ පළමු මෙන් ම එක ම ක්‍රීඩකයා බවට ද පත් වුනා.

මෙම තරගාවලියේ දී යාපනය කණ්ඩායමට එරෙහිව ලකුණු 143ක් ලබා ගන්නා සොහාන් එය තම පළමු පෙළ ඉනිම් 25ක හොඳම ඉනිම් බවට පත් කර ගන්නා ලද අතර මෙම තරගාවලිය නිමාවේ දී තම පළමු පෙළ ලකුණු 1000 පසු කිරීමට සමත් වීම ද කැපී පෙනුණා.

පසිඳු සූරියබණ්ඩාර

ගාල්ල කණ්ඩායම නියෝජනය කරමින් මැදිපෙළින් පිටියට පිවිසි 23 හැවිරිදි දකුණත් පිතිකරු පසිඳු සූරියබණ්ඩාර මෙම තරගාවලියේ දී කැපී පෙනෙන්නේ ඉනිමක දී වැඩිම ලබා ගත් පිතිකරුවා ලෙසයි.

මහනුවර කණ්ඩායමට එරෙහිව පන්දු 341කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් නොදැවී ලකුණු 214ක් ලබා ගන්නා පසිඳු එම ඉනිම් තම පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිමට බවට ද පත් කර ගන්නවා.

කවිශ්ක අංජුල

ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 25 හැවිරිදි කවිශ්ක අංජුල මෙම තරගාවලියේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූවන්ගේ ලැයිස්තුව ආක්‍රමණය කළ ක්‍රීඩකයන් අතරින් ඉදිරියෙන් ම පසුවෙනවා.

දකුණතින් මද වේගපන්දු යවන අංජුල ඉනිම් 9ක පන්දුවාර 108ක් යවමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 19ක්. එය පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි අසුනට හිමිකම් කියන දක්ෂතාවක්.

වමත් පිතිකරුවෙක් ලෙසින් පස‍ෙපෙළින් පිටියට පිවිසි අංජුල දඹුල්ලට සහ මහනුවර කණ්ඩායම්වලට එරෙහිව අර්ධ ශතක වාර්තා කරමින් තරග 5ක ඉනිම් 7ක දී ලකුණු 218ක් ලබා ගන්නවා.

තරගාවලිය අතරමඟ දී මෙරට සංචාරය කළ එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව ද අංජුලගේ දක්ෂතා එක්වූවා.

ඔහු මේ දක්වා පළමු පෙළ තරග 40කට සහභාගී වෙමින් ලකුණු 1123ක් සහ කඩුලු 83ක් දවා ගනිමින් දක්ෂතා දක්වමින් සිටිනවා.

ලහිරු සමරකෝන්

දඹුල්ල කණ්ඩායම නියෝජනය කළ 26 හැවිරිදි තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ලහිරු සමරකෝන් ඉනිම් 7ක දී පන්දුවාර 66ක් යවමින් ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 15ක්. එය පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ 6 වැනි දක්ෂතාවයි.

ඒ අතරට කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 63කට කඩුලු 6ක් දවා ගන්නා ලහිරු එය තම පළමු පෙළ තරග දිවියේ ඉහළ ම දක්ෂතාව ලෙසින් සටහන් කර ගැනීමට සමත් වෙනවා.

පිතිකරුවෙක් ලෙසින් මෙවර තරගාවලියේ දී ලහිරුට එතරම් ම ඉදිරියට පැමිණීමට හැකි වූයේ නැහැ. ඔහු ඉනිම් 8ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 72ක්.

ඔහු මේ දක්වා පළමු පෙළ තරග 47කට ක්‍රීඩා කරමින් ලකුණු 1449ක් සහ කඩුලු 96ක් දවා ගනිමින් දක්වමින් සිටිනවා.

මොහොමඩ් ශිරාෂ්

ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 28 හැවිරිදි දකුණතින් වේගපන්දු යැවූ මොහොමඩ් ශිරාෂ් ද නිමා වූ තරගාවලියේ දී කඩුලු 19ක් ලබා ගනිමින් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගන්නවා. ඔහු මෙම තරගාවලිය තුළ යාපනය සහ දඹුල්ල කණ්ඩායම්වලට එරෙහිව ඉනිමක කඩුලු 5ක් දවා ගත් අවස්ථා 2ක් ඊට එක් කරනවා.

ශිරාෂ් මේ දක්වා පළමු පෙළ ඉනිම් 54ක දී ලබා ඇති කඩුලු සංඛ්‍යාව 80ක්.

පිතිකරුවන්ගේ ලැයිස්තුව

තරගාවලියේ ඉහළ ම දක්ෂතා දැක් වූ පිතිකරුවන් 10 දෙනාගේ ලැයිස්තුව සැකසීමේ දී පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ පසෙකට දමමින් යොවුන් ක්‍රීඩකයන් වැඩි පිරිසකගේ දක්ෂතා මතින් හැඩ ගැන්වී තිබීම විශේෂයි.

මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය ටෙස්ට් තරගයක්, එක්දින ජාත්‍යන්තර තරග 6ක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5ක් ක්‍රීඩා කළ මිනෝද් භානුක සතු වුනා. ඔහුගෙන් අනතුරුව ලැයිස්තු ගත වූ සියල්ලෝ ම යොවුන් ක්‍රීඩකයන්.

ඒ අතර එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය තරගාවලියේ දක්ෂතම පිතිකරු වූ අහන් වික්‍රමසිංහ සතු වුනා.

එහි තෙවැනි ස්ථානය, කොළඹ කණ්ඩායමට වාර්තා කරන ලද ශතකයක්, ගාල්ල කණ්ඩායමට එරෙහිව තරග 3ක ඉනිම් 3ක දී වාර්තා කරන ලද අර්ධ ශතක 3ක් සමඟින් තරග 4ක ඉනිම් 7ක දී ලකුණු 401ක් ලබා ගත් මහනුවර කණ්ඩායම නියෝජනය කළ 29 හැවිරිදි වමත් පිතිකරු සඳුන් වීරක්කොඩිට හිමි වුනා.

සඳුන් මෙම තරගාවලිය අවසන් කරන්නේ තම පළමු පෙළ ලකුණු 5000 කඩඉමට පිවිසෙමින්.

එමෙන් ම එහි සිව්වැනි ස්ථානය අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 397ක් ලබා ගත් යාපනය කණ්ඩායම නියෝජනය කළ 28 හැවිරිදි වමත් පිතිකරු රොන් චන්ද්‍රගුප්ත සතු වෙනවා.

කොළඹ කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සහ තවත් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 369ක් ලබා ගත් ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 30 හැවිරිදි වමත් පිතිකරු ලක්ෂාන් එදිරිසිංහ එම ලැයිස්තුවේ 5 වැනි අසුන වෙන් කර ගන්නවා.

එතැන් සිට ගාල්ල කණ්ඩායමට එරෙහිව ශතකයක් සමඟින් ලකුණු 352ක් ලබා ගත් යාපනය කණ්ඩායම නියෝජනය කළ 30 හැවිරිදි දකුණත් පිතිකරු ලහිරු මධුශංක, කොළඹ කණ්ඩායමට එරෙහිව වාර්තා කරන ලද ශතකයක් සමඟින් ලකුණු 342ක් ලබා ගත් ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් කුමාර, මහනුවර කණ්ඩායමට එරෙහිව ශතකයක් සමඟින් ලකුණු 341ක් ලබා ගත් ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 27 හැවිරිදි වමත් පිතිකරු සංගීත් කුරේ සහ දඹුල්ල කණ්ඩායමට එරෙහිව ශතකයක් සමඟින් ලකුණු 332ක් ලබා ගත් යාපනය කණ්ඩායම නියෝජනය කළ 23 හැවිරිදි දකුණත් පිතිකරු රවිඳු ප්‍රනාන්දු මේ ලැයිස්තුව පෝෂණය කළා.

පන්දු යවන්නන්ගේ ලැයිස්තුව

මේ ලැයිස්තුව ආක්‍රමණය කළ ක්‍රීඩකයන් 10 දෙනා අතර පළපුරුදු පන්දු යවන්නෝ සිව් දෙනෙක් ම ලැයිස්තු ගත වෙනවා.

ඒ අතරින් පළමු ස්ථාන ත්‍රිත්වය යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙක් වූ ශෂික දුල්ශාන්, කවිශ්ක අංජුල සහ මොහොමඩ් ශිරාෂ්ට හිමි වෙද්දී, සිව්වැනි ස්ථානය දඹුලු කණ්ඩායමේ වනිඳු හසරංග සතු වෙනවා. ඔහු ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 18ක්. ඊට පසු ස්ථානය මහනුවර කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සතු වෙන්නේ ලබා ගත් කඩුලු 16 හේතුවෙන්.

ඉන් අනතුරුව ලහිරු සමරකෝන් මෙම ලැයිස්තුව ආක්‍රමණය කරන අතර ගාල්ල කණ්ඩායම නියෝජනය කළ 25 හැවිරිදි මනෝජ් චානක 7 වැනියා ලෙසින් මේ ලැයිස්තුව හා එක් වෙනවා. ඔහු මහනුවර කණ්ඩායමට එරෙහිව ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉහළ ම දක්ෂතාව බවට ද පත් කර ගන්නවා. මනෝජ් මෙම තරගාවලියේ දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 14ක්.

ඊට පසුව කොළඹ කණ්ඩායම හා එක් වූ තරිඳු රත්නායක (කඩුලු 12), දඹුල්ල කණ්ඩායම හා එක් වූ අසිත ප්‍රනාන්දු (කඩුලු 11) සහ ගාල්ල කණ්ඩායම හා එක් වූ රමේෂ් මෙන්ඩිස් (කඩුලු 11) ලැයිස්තු ගත වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<