විසඳුමක් නොමැති වූ සති අන්තයක්

135

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ නිමා වූ සතියේ තරග විසඳුමක් නොමැතිව අවසන් වුනා.

තරගාවලියේ යාපනය සහ කොළඹ කණ්ඩායම් අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගය ජය පරාජයකින් තොරව අවසන් වූ අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් අතර තරගය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් හෝ නොයවා නතර කරන ලදි.

යාපනය සහ කොළඹ

තරගයේ සිව්වැනි දිනය ආරම්භ වෙන්නේ කොළඹ ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 210ක් ලබා සිටිය දී. ඒ වෙද්දී මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 21ක් සහ ප්‍රභාත් ජයසූරිය ලකුණු 30ක් ලබා ගනිමින් පිටියේ නොදැවී රැඳී සිටියා.

ඔවුන් තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 289ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් පෙර දින නොදැවී පිටියේ රැඳී සිටි මනෝජ් සරත්චන්ද්‍ර අර්ධ ශතකයක් එක් කළා. තම පළමු පෙළ තරගවල 25 වැනි අර්ධ ශතකය වාර්තා කළ මනෝජ් දැවී යද්දී පන්දු 120කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 57ක් ලබා සිටියා.

ඊට අමතරව ප්‍රභාත් ජයසූරිය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44ක්. පන්දු 75ක් වැය ව තිබූ එම ඉනිමේ හතරේ පහර 6ක් ඇතුලත්ව තිබුණා.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක ලකුණු 32කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර කවිඳු පතිරත්න ද ලකුණු 48කට කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 90ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ආරම්භ කළ යාපනය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා.

එම ඉනිම වෙනුවෙන් අවිශ්ක තරිඳු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. ඔහු ලහිරු මධුශංක හා එක් වෙමින් 6 වැනි කඩුල්ලට ලකුණු 94ක සබඳතාවක් ද එක් කිරීමට ද සමත් වුනා.

ලහිරු මධුශංක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී නුවන් ප්‍රදීප් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව කසුන් රාජිත සහ තරිඳු රත්නායක විසින් කඩුලු 2 බැගින් දවා ගත්තා.

  • යාපනය – පළමු ඉනිම පන්දුවාර 1ක දී සියලුම දෙනා දැවී 199 (රොන් චන්ද්‍රගුප්ත 68, කසුන් අබේරත්න 36, රවිඳු ප්‍රනාන්දු 24, නුවන් ප්‍රදීප් 3/50, තරිඳු රත්නායක 4/24)
  • කොළඹ – පළමු ඉනිම පන්දුවාර 1ක දී සියලුම දෙනා දැවී 289 (හේෂාන් ධනුශ්ක 35, අවිශ්ක ප්‍රනාන්දු 62, රොශේන් සිල්වා 32, මනෝජ් සරත්චන්ද්‍ර 57, ප්‍රභාත් ජයසූරිය 44, කවිඳු පතිරත්න 3/48, ලහිරු මධුශංක 3/32)
  • යාපනය – දෙවැනි ඉනිම පන්දුවාර 61ක දී කඩුලු 8ක් දැවී 229 (නවෝද් පරණවිතාන 26, ධනංජය ද සිල්වා 23, අවිශ්ක තරිඳු 50, ලහිරු මධුශංක 43, කවිඳු පතිරත්න නොදැවී 27, කසුන් රාජිත 2/26, තරිඳු රත්නායක 2/78, නුවන් ප්‍රදීප් 3/32)

තරගය විසඳුමක් නෑ.

තරගාවලියේ මීළඟ තරග මෙම මස 09 වැනිදා ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව පැවැත්වීමට නියමිත ගාල්ල සහ කොළඹ අතර තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද, මහනුවර සහ යාපනය අතර තරගය කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<