90 දශකයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් එතරම් වදන් හරඹකාරයන් නොවීය. එහෙත් ඔවුන්ට වටකරගෙන පහරදුන් ලෝක ක්‍රිකට් දැවැන්තයන් හමුවේ නිශ්ශබ්ද වීම ප්‍රතික්ෂේප කළ අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තවදුරටත් “අහිංසකයන්” නොවේ.

කටින් ගහන ක්‍රිකට්

වදනින් කරන සටන්, එසේත් නැතිනම් වාග් සටන් (Sledging), ක්‍රීඩාවට කෙතරම් අවශ්‍ය ද යන්න පිළිබඳ නොයෙක් මත…

නූතන ක්‍රිකට් ක්‍රීඩාව කෙතරම් තරගකාරීද යත්, කිසිවෙකුට පිටිය මැද දී අහිංසකයෙකු වන්නට නොහැකිය. විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන්, කවදත් කටින් ක්‍රිකට් ගැසූ ඕස්ට්‍රේලියානුවන් සහ එංගලන්ත ක්‍රීඩකයන් වර්තමානයෙහි ලෝක ක්‍රිකට් තලය මත වැජඹෙන්නේ වාග් හරඹයන්ට ද පින් සිදුවන්නටය. කෙසේ වෙතත් නූතන ක්‍රිකට් පිටියේ සාර්ථක වචන හරඹකාරයෙකු වන විරාත් කෝලිගෙන් පැසසුම් ලබන්නට සමත්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් කඩුලු රකින්නා වන නිරෝෂන් දික්වැල්ල යි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ජයග්‍රාහීව අවසන් කළ පාකිස්තානු ටෙස්ට් සංචාරයේ දී ද දික්වැල්ලගෙන් සිදු වූ වාග් කාර්යභාරය අප්‍රකටය. පාකිස්තානු දඟපන්දු යවන්නෙකු වන යසීර් ෂා හට කැඩුණු උර්දු බසින් වාග් ප්‍රහාර එල්ල කළ නිරෝෂන් දික්වැල්ල ඔහුගේ මානසිකත්වය බිඳ දැම්මේය.

මෙවර ඉතාමත් අපහසු ඉන්දියානු ටෙස්ට් සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට පළමු ටෙස්ට් තරගය බේරා ගැනීම වෙනුවෙන් දික්වැල්ලගෙන් ලැබුණු දායකත්වය මහත් ය. පැයකට අධික කාලයක් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ඉන්දියානුවන්ට හිසරදයක් වූ දික්වැල්ල එහි දී අපූරු උපක්‍රමයක්‌ ද භාවිත කළේය.

තරගය බේරා ගත් දික්වැල්ලගේ නාටකයේ පිටපත

ඉන්දියාව සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ අවසන් කාර්තුව තුළ සිදු වූ නාට්‍යයක් වැනි සිදුවීම් පිළිබඳ …

පන්දු යවමින් සිටියේ මොහොමඩ් ෂමියි. තරහින් බවුන්සර් පන්දු යවමින් සිටි ෂමිගේ පන්දුවකට හදිසියේම අමුතු පහරක් එල්ල කළ දික්වැල්ල ගැන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඇතැම් විට තරහක්ද පැනනැගෙන්නට ඉඩ තිබිණි. ඉතා ආරක්ෂිතව ක්‍රීඩා කළ යුතුව තිබූ ඒ මොහොතේදී එවන් පහරකට ගියේ ඇයි දැයි අපැහැදිලි විය. අනාරක්ෂිත ඒ පහරින් ලකුණු 6ක්ද වාර්තා කළ දික්වැල්ල පැති විනිසුරුට පවසා සිටියේ පන්දු රකින ක්‍රීඩකයන් තිදෙනෙකු නීති විරෝධීව ස්ථානගත කොට ඇති බවයි. ක්‍රිකට් නීතිරීතිවලට අනුව පිතිකරුගේ පා ඉන්නෙන් පසුපස කලාපයේ රැඳවිය හැක්කේ පන්දු රකින්නන් දෙදෙනෙකු පමණි.

එබැවින් එය නිපන්දුවකි. තරගය හොඳින් කියවා තිබූ දික්වැල්ල පන්දුව යැවීමට පෙර එය ඉන්දියානුවන්ට පවසා “මහත්මයෙකු” වන්නට නොගිය අතර නූතන ක්‍රිකට් ක්‍රීඩාවට උචිත අයුරින් ඉන්දියානුවන්ගේ මානසිකත්වය බිඳ දැම්මේය. පසුව වචන යුද්ධයකට ගිය ෂමිව ගණනකටවත් නොගත් දික්වැල්ල තරගයෙන් මිනිත්තු කිහිපයක්ම උදුරාගත්තේ පිතිකරණයට සූදානම් වීමට හොඳින් කාලය ගනිමිනි.

“මං ඒ අවස්ථාවේ හිටිය නම් මං කරන්නෙත් ඕකයි. ඒකයි තරග රටාවේ ස්වභාවය. කාටවත් පරදින්න ඕන නැහැ.” ඉන්දියානු ආරම්භක පිතිකරු K.L. රාහුල් එසේ කීය.

“මං ඒ චරිත ලක්ෂණ වල‍ට කැමතියි. ඔහු අභිමානයකින් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වෙන කෙනෙක්. අවසන් වූ තරගාවලියේදීත් මා ඔහුගෙන් දුටු දේවල් ගැන මා සතුටුවනවා.” ඉන්දියානු නායක විරාත් කෝලි එසේ පැවසුවේය.

කෝලිද එවැන්නෙකි. පිටියෙන් පිටත දී කොතෙකුත් යහපත් කටයුතු වල නිරත වුවද පිටිය මැද දී ඔහු ප්‍රතිවාදීන්ට වචනයකින් හෝ ඉදිරියට යන්නට නොදෙයි.

“ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලොකු සේවයක් කරන්න හැකියාව ඔහුට තිබෙනවා. ඒ සටන්කාමීත්වය පිටිය මැද දකින්න මං කැමතියි. මගේ කණ්ඩායම ජයගැනීම වෙනුවෙන් මං ඕනෑම දෙයක් කරනවා. අපි ගුවන් යානය තුළදීත් ටික වෙලාවක් කතාබහ කළා. ඒත් ඒ සියල්ල පිටිය මැද දී අවසන්. ඔබ ප්‍රතිවාදියෙකු හැටියට තරගකාරී නම් අපි ඒ සඳහා ගෞරව දක්වනවා.” කෝලි කීවේය.

කුමන නායකයා ශූරතාවය දිනා ගනී ද?

මෙම දිනවල පැවැත්වෙන වැසි සහිත කාලගුණ තත්වය කෙමෙන් පහව යාමත් සමඟ 2017/18 ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රිමියර් ලීග් …

තරුණ ක්‍රීඩකයන් ලෙස ඔවුන් මෙවන් මානසිකත්වයකින් යුක්ත වීම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට ඉතා සුදුසුය. මන්ද යත් ජාත්‍යන්තර ක්‍රිකට් වෙනත්ම තරගකාරී තලයකට එසවී ඇති බැවිනි.

“ඔහු තද ක්‍රීඩකයෙක් වගේම එය ඔහුගේ ක්‍රීඩාවට උපකාරී වී තිබෙනවා. එය පවත්වාගෙන යාම පිළිබඳව ඔහුට ගෞරවය හිමි විය යුතුයි. මට විශ්වාසයි ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් දේවල් කරාවි” කෝලි සිය අදහස් දැක්වීම අවසන් කළේ එසේයි.

නිරෝෂන් දික්වැල්ල, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවී එහි ක්‍රිකට් නායකත්වයද දරා, වසර 35කට පසුව මහා ක්‍රිකට් තරගයක ජයග්‍රහණයක් සඳහා තම කණ්ඩායම මෙහෙයවූ නායකයායි. මෙවන් උපක්‍රමශීලීත්වයක් සහ මානසිකත්වයක් නොවන්නට ඔහුට එය කළනොහැකිවන්නට තිබිණි. කෙසේ හෝ අද ජාත්‍යන්තරයට පියමැන ඇති ඔහුට එහි දී හමුවන වෙනස් අභියෝගයන් ජයගැනීමට ඒ සියලු ධනාත්මක කොටස් හේතුවේවායි ඉන්දියානු නායකයා මෙන්ම අපිද පතන්නෙමු.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<