විදුලිය හමුවේ නොසැලුණු වරාය අධිකාරියට ශූරතාවය

957
Munchee National VolleyballMunchee National VolleyballMunchee National VolleyballMunchee National VolleyballMunchee National VolleyballMunchee National VolleyballMunchee National Volleyball

පසුගිය 11 වන දා ආරම්භ වූ “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවයේ” සුපර් ලීග් තරඟාවලියේ කූටප්‍රාප්තිය සටහන් කරමින් අද (26) පැවති අවසන් මහා තරඟ ජයග්‍රහණය කරන්නට, පිරිමි අංශයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියත් ,කාන්තා අංශයෙන් ගුවන් හමුදා කණ්ඩායමත් සමත්විය. අවසන් තරඟ ද්විත්වයම පැවතියේ මහරගම තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

ආධුනික අංශයේ ශූරතාවයන් සරත් ජෙම්ස්ට සහ සිරිපැරකුම්ට

රස ලොව රජ කිරුල මන්චි ආයතනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්ව සංවිධානය කල “මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ, ආධුනික…

කාන්තා අංශය

සුපර් ලීග් වටයේ කාන්තා ශූරතා තරඟය ආරම්භ කරමින් පිටියට පිවිසියේ ප්‍රබල ගුවන් හමුදා කාන්තා කණ්ඩායමත්, කැෂුවල් ලයින් කාන්තා කණ්ඩායමත් ය.

ප්‍රථම වටයේ සිටම තම අත්දැකීම් යොදාගනිමින් අවසන් තරඟයේ පීඩනය මඟහරවාගත් බවක් ගුවන් හමුදා කණ්ඩායම වෙතින් දිස්වූ අතර අනෙක් පසින් දිස්වූයේ ඊට හාත්පසින්ම වෙනස් ක්‍රීඩා ශෛලියකි. සුපුරුදු පරිදි තක්ෂිලා මධුරංගි, කැෂුවල් ලයින් කණ්ඩායම වෙනුවෙන් දස්කම් පෑ අතර ගුවන් හමුදාවේ අනුෂා සඳමාලි, මුළු තරඟාවලිය පුරාම දැක්වූවාක් මෙන් අදත් දස්කම් දැක්වීමට සමත් විය. ඊට දිනේෂා ප්‍රසාදිනීගේත්, චතුරිකා රණසිංහගේත් දස්කම් එක්වූ බැවින් ප්‍රථම වටයේ ජයග්‍රහණය හිමිවූයේ ගුවන් ක්‍රීඩිකාවන්ටයි.

තරගයේ ඡායාරූප ඇල්බමය

දෙවන වටය සඳහා අවතීර්ණ වීමට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන්ට කිසිදු ඉඩක් නොදෙමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් එහි ජයද අත්පත් කරගත්තේය.

තරඟයේ තෙවන වටයද අනුෂා සඳමාලිගේත් දිනේෂා ප්‍රසාදිනීගේත් පහරවලින් හැඩ වූ අතර එහි ජයත් හිමිකරගනිමින් සමස්ත තරඟයේ ජය ලබා ගත් ගුවන් සෙබලියන් 2016 මන්චි ජාතික වොලිබෝල් ශුරතාවලියේ සුපර් ලීග් ශූරියන් වීමේ භාග්‍යය හිමිකරගත්තේය.

තරඟ ලකුණු සටහන – 25-12, 25-10, 25-19 (ගුවන් හමුදා කාන්තා කණ්ඩායම)

තරඟයෙන් අනතුරුව ThePapare.com  හා අදහස් දැක්වූ ගුවන් හමුදා නායිකා දිනේෂා ප්‍රසාදිනී,

“සතුටුයි. ගිය වසරේ අත්හැරුණු ජාතික ශූරතාවය අපි අද ලබාගත්තා. ඒ ගැන ගොඩාක්ම සතුටුයි” යැයි පැවසීය.

හිතූ තරම් සටනක් ලැබුණේ නැහැ. අපේ කණ්ඩායමේ අත්දැකීම් වැඩියි. ජාතික ක්‍රීඩිකාවන් හතරදෙනෙක්ම සිටියා. ඒ නිසා අපි හොඳින් ක්‍රීඩා කරලා ජය ලැබුවා” යැයි ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු සමන් චන්ද්‍රනාත් ද ThePapare.com සමඟින් අදහස් දක්වමින් පැවසීය.

ශූරතාවයට සිහින දකිනා විදුලි බලය සහ වරාය අධිකාරිය

ශ්‍රී ලංකා වොලිබෝල් ඉතිහාසයට වසර 100ක් සපිරෙන මේ වසරේදී ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයත්, සිලෝන් බිස්කට් ආයතනයත් සුසංයෝගයෙන් “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය” සංවිධාන …

පිරිමි අංශය

දිනයේ වැඩි ආකර්ෂණය දිනාගත් තරඟය වන සුපර් ලීග් පිරිමි අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයන් සමූහයකගෙන් සමන්විත විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, අත්දැකීම් බහුල ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායමත් එක්විය.

ප්‍රථම වටයේ ප්‍රථම ලකුණේ සිටම වඩාත් තරඟකාරී මුහුණුවරක් ගත් පිරිමි අවසන් තරඟයේ ලකුණෙන් ලකුණ ඉදිරියට ගිය දෙපිල විසින් ප්‍රේක්ෂකයන් වෙත අමතක නොවෙන තරග අත්දැකීමක් ලබා දුන්නේය.

එහිදී වරාය අධිකාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නායක ජනිත සුරත් සහ විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වේගවත්ම ප්‍රහාරක දීප්ති රොමේෂ් දක්ෂතා දැක්වූ අතර තරඟ වටය අවසාන වූයේ විදුලි බල මණ්ඩලයට එහි ජය හිමිකරදෙමිනි.

තරගයේ ඡායාරූප ඇල්බමය

නමුත් දෙවන වටය සඳහා හොඳින් අවතීර්ණ වූ වරාය ක්‍රීඩකයන් තම අත්දැකීම් වල උපකාරයෙන් එහි ජය තහවුරු කරගත් අතර ඊට යොවුන් ක්‍රීඩක ලසිඳු මෙත්මාල් විසින් නිර්මාණශීලී පහරවල් එක්කරන ලදී. වරාය කණ්ඩායම වෙනුවෙන් නිලංක සංජය විසින් කළ පන්දු සකස්කිරීම් ගැන මෙහිලා සටහන් කළ යුතුමය. ඒ සකස් කිරීම් වල උපකාරය මැනවින් ලබා ගන්නට වරාය කණ්ඩායමේ ප්‍රහාරකයන් කල්පනාකාරී විය.

තෙවන වටයේදී කණ්ඩායම් දෙකම ලකුණින් ලකුණ සොරාගෙන ඉදිරියට යන බවක් දිස්විය. රුමේෂ් දිසානායක එහිදී වරාය කණ්ඩායම වෙනුවෙන් අවහිරයන් කිහිපයක්ම සාර්ථක කරගත්තේය. ලසන්ත පතිරණත්, තරිඳු ලක්මාල් නුත් විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පහරවල් දියත් කළත් ලකුණු 4ක පරතරයකින්  ජය ලැබුවේ වරාය කණ්ඩායමයි.

සිව්වැනි වටයේදී ජනිත සුරත් තම පන්දු පිරිනැමීමේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් වරාය අධිකාරියට ලකුණු එක්කළේය. ඒ සමඟින් විදුලි බල මණ්ඩල කණ්ඩායමේ මානසිකත්වය යම්තාක් දුරකට කඩාවැටුණු බවක් දිස්විය. තරඟය පුරාම නිහඬව සිටි සමීර දිසානායක ද වරාය අධිකාරිය වෙනුවෙන් ඒ වටයේදී දස්කම් දැක්වීය. කෙසේවෙතත් විදුලි බල මණ්ඩලය අන්ද මන්ද කරමින් ඒ වටය අවසන් කළ වරාය අධිකාරී කණ්ඩායම විසින් මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් පිරිමි අංශයේ ජය සිව්වන වරටත් තමා සන්තක කරගත්තේය.

තරඟ ලකුණු සටහන – 20-25, 25-17, 25-21, 25-19 (වරාය අධිකාරිය)

වරාය අධිකාරී නායක ජනිත සුරත් තරඟයෙන් අනතුරුව පැවසුවේ කණ්ඩායමේ අත්දැකීම් මත ජයග්‍රහණය වෙත යාම පහසු වූ බවයි.

තරඟයෙන් අනතුරුව තම නිදහස් අදහස් දැක්වූ වරාය කණ්ඩායමේ පුහුණුකරු කාලික වසන්තප්‍රිය,

“වර්තමාන ජාතික ක්‍රීඩකයෝ දෙන්නයි මගේ කණ්ඩායමේ හිටියේ. මුලින්ම මගේ කණ්ඩායමේ ජාතික ක්‍රීඩකයෝ වැඩි නිසා ශූරතා ලැබෙනවා කියා ඒ ගණන අඩුකරන්න ය කිව්වා. ඔන්න අපි ඒක කරලා පෙන්නුවා. විදුලි බල මණ්ඩල කණ්ඩායම එක තරඟයකදී නරක පූර්වාදර්ශයක් දීලයි අවසන් තරඟෙට සුදුසුකම් ලැබුවේ. ඒ කණ්ඩායමේ වැඩියක්ම ඉන්නේ වත්මන් ජාතික ක්‍රීඩකයන්. ඒ ක්‍රීඩකයෝ ඒ මට්ටමට වැටෙන්න හොඳ නැහැ. ඔවුන්ගේ ලිබරෝ ක්‍රීඩක ලක්මාල් පවා ගත්තේ අපේ කණ්ඩායමෙන්. ජාතික ක්‍රීඩකයන්ගෙන් පමණක් දිනන්න බෑ කියන දේ අපි ඔවුන්ට පෙන්නුවා” යැයි පැවසුවේ ජවසම්පන්න ඔහුගේ තරුණ කාලය ගැන අපට යළිත් සිහිකරමිනි.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගේ ප්‍රධානත්වයෙනි. ඊට අර්ජුන රණතුංග, රන්ජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුද එක්ව සිටියේය.

විදුලි බලයට අභියෝග කරන්නට වරාය ක්‍රීඩකයන් සූදානම්

“මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සිව්වන දිනය නිමාවට පත්වන විට, පිරිමි අංශයෙන් විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, වරාය අධිකාරී කණ්ඩායමත්…

සුපර් ලීග් අංශයේ සම්මාන සටහන

කාන්තා අංශය

විශේෂ දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නිය – අනුෂා සඳමාලි (ගුවන් හමුදාව)
  • හොඳම පන්දු භාරගන්නිය – තක්ෂිලා මධුරංගි (කැෂුවල් ලයින්)
  • හොඳම පන්දු සකසන්නිය – අශානි චමෝදිකා (ගුවන් හමුදාව)
  • හොඳම ප්‍රහාරිකාව – දිනේෂා ප්‍රසාදිනී (ගුවන් හමුදාව)
  • හොඳම පන්දු වළකන්නිය – චතුරිකා රණසිංහ (ගුවන් හමුදාව)
  • හොඳම ආරක්ෂිකාව – ශ්‍යාමා මධුරංග (ගුවන් හමුදාව)
  • සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩිකාව – චතුරිකා රණසිංහ (ගුවන් හමුදාව)

කණ්ඩායම්

  • තෙවන ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කාන්තා කණ්ඩායම.
  • අනුශුරතාවය – කැෂුවල් ලයින් -කුරුණෑගල.
  • ශූරතාවය – ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම.
පිරිමි අංශය

විශේෂ දක්ෂතා

  • හොඳම පන්දු පිරිනමන්නා – ජනිත සුරත් (වරාය අධිකාරිය)
  • හොඳම පන්දු භාරගන්නා – ටී. සාගර (වරාය අධිකාරිය)
  • හොඳම පන්දු සකසන්නා – නිලංක සංජය (වරාය අධිකාරිය)
  • හොඳම ප්‍රහාරකයා – දීප්ති රොමේෂ් (විදුලි බල මණ්ඩලය)
  • හොඳම පන්දු වළක්වන්නා – රුමේෂ් දිසානායක (වරාය අධිකාරිය)
  • හොඳම ආරක්ෂකයා – ඒ. ඩබ්ලිව්. ලක්මාල් (විදුලි බල මණ්ඩලය)
  • සියලු අංශවලින් දක්ෂතම ක්‍රීඩකයා – ලසිඳු මෙත්මාල් (වරාය අධිකාරිය)

කණ්ඩායම්

  • තෙවන ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදාව.
  • අනුශූරතාවය – විදුලි බල මණ්ඩලය.
  • ශූරතාවය – ශ්‍රී ලංකා වරාය අධිකාරිය.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට

තරගයේ විශේෂ අවස්තා