බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා පුහුණු සංචිතයක්?

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2020

2314

එළඹෙන ඔක්තෝම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා මූලික පුහුණු සංචිතය එළඹෙන සතියේ බදාදා දින සිට සිය පුහුණු කටයුතු ආරම්භ කරනු ඇත. 

Galle Gladiators කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයා නම් කරයි

කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමුනු මෙම තරගාවලිය ඔක්තෝම්බර් මාසය තුළ පැවැත්වීම ස්ථිර නමුත් තරග කාලසටහන එනම් තරග පැවැත්වෙන දිනයන් සහ තරග පැවැත්වෙන ස්ථානයන් තවමත් නිල වශයෙන් තහවුරු වී නොමැත. කෙසේ නමුත් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ කණ්ඩායම මෙම මස (සැප්තැම්බර්) අගදී හෝ ඔක්තෝම්බර් මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත්තේ දින 14ක නිරෝධායන කාලයක් ගත කිරීමෙන් අනතුරුවයි. ඒ අනුව රජයේ සහ සෞඛ්‍ය අංශ වල රෙගුලාසි සහ ICCය ලබාදී තිබෙන උපදෙස් අනුව කොළඹ සහ පල්ලේකැලේ ප්‍රදේශ තුළ මෙම තරග පැවැත්වීම සඳහා වැඩි ඉඩක් ඇත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් එහි තිබෙන නිසාවෙනි.

ශ්‍රී ලංකාව අනෙකුත් රටවල් සමඟ සසඳා බලන විට ඉතාමත් හොඳින් කොරෝනා වසංගත පාලනය කර තිබෙන මොහොතක, මෙරට තුළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම සඳහා ඉතාමත් සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ. නමුත් බංග්ලාදේශය තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම තවමත් පාලනය වී නොමැති නිසාවෙන් ඔවුන් මෙරටට පැමිණි විට ඔවුන් සමඟ පුහුණුවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත. ඒ නිසාවෙන් බංග්ලාදේශ කණ්ඩායම මෙරටට පැමිණෙන විට ඒ සඳහා අවශ්‍ය ක්‍රීඩකයින් ද එරටින් රැගෙන පැමිණෙනු ඇත.

මෙම තරගාවලිය පෙර කතාබහ වූ පරිදි පැවැත්වීමට හැකියාව ලැබුනහොත් බංග්ලාදේශය ටෙස්ට් ක්‍රිකට් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා තරග වදිනු ලබන්නේ වසර 6කට පසුවයි. එසේම එය කොරෝනා වසංගතයට පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට ද පත්වනු ඇත. එසේම මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගාවලියක් නිසාවෙන් මෙම තරගාවලියේ සෑම තරගයක්ම ජයගැනීම දෙපිළටම වැදගත්ය.

ඒ නිසාවෙන් මෙම තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි සතිය තුළ සිය පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව සිටින අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව මේ සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් සකස් කර ඇති බව ThePapare.com වෙත වාර්තා වේ.

නවසීලන්ත පුහුණුකරුට තවත් වසර තුනක්

පසුගියදා නිමාවට පත්වූ Tier A පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වූ එන්. සී. සී. කණ්ඩායමේ ලහිරු උදාර සහ බී. ආර්. සී. කණ්ඩායමේ දුවිඳු තිලකරත්න මෙම ක්‍රීඩකයින් 23 දෙනා අතරට ඇතුළත්ව ඇත. දකුණතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවෙකු වන ලහිරු උදාර මෙවර තරගවාරය තුළ මුළු ලකුණු 1039ක් රැස්කර ගෙන ඇත්තේ 86.58ක දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක සහ වයස අවුරුදු 19න් පහළ ප්‍රධාන පුහුණුකරු වූ හෂාන් තිලකරත්න මහතාගේ පුත් දුවිඳු තිලකරත්න මෙම තරගවාරය තුළ කඩුලු 61ක් දවා ගැනීමට සමත් විය. වමතින් දඟපන්දු යවන ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය ලකුණු 20කට අඩු මට්ටමක පැවතුනි.

ඊට අමතරව කෝල්ට්ස් කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සන්තුෂ් ගුණතිලක ද මෙම සංචිතය සඳහා ඇතුළත්ව සිටින බව වාර්තා වන අතර වයස අවුරුදු 20ක් වන ඔහු සාන්ත පීතර විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වේ. සිය මංගල පළමු පෙළ තරග වාරය සඳහා ක්‍රීඩා කළ සන්තුෂ් ගුණතිලක, තරග 8ක් තුළ ලකුණු 679ක් වාර්තා කරගනිමින් ඉතාමත් හොඳ දස්කම් දක්වන ලදි. ඔහු කඩුල්ල මත රැඳී සිටිමින් ඉවසිලිවන්ත ලෙස ලකුණු රැස්කර ගැනීම සඳහා දක්වන විශේෂතාවය නිසා ඔහුව මෙවර ශ්‍රී ලංකා පුහුණු සංචිතය සඳහා තේරී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කමිඳු මෙන්ඩිස් හට දෑතින්ම පන්දුවට පන්දු යැවීමට හැකි අතර ඔහු සතුව තිබෙන තුන් ඉරියව් දස්කම් නිසාවෙන් ඔහු ද මෙම පුහුණු සංචිතය සඳහා එක්ව ඇති අතර සී. සී. සී. කණ්ඩායමේ කඩුලු රකින පිතිකරුවෙකු වන මිනෝද් භානුක ද මෙවර ශ්‍රී ලංකා පුහුණු සංචිතය සඳහා තේරී පත්ව ඇත.

ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ වේගපන්දු යවන බලඇණිය සවිමත් කිරීම වෙනුවෙන් සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දු ඇතුළත් කර ඇත. මෙවර අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය තුළ වේගපන්දු යවන්නන්ගෙන් වැඩිම සාර්ථකත්වයක් හිමිකර ගත් අසිත ප්‍රනාන්දු, තරග 9ක් තුළ කඩුලු 47ක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා ආබාධ වලට ලක්ව සිටින නිසාවෙන් ඔවුනට දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ තරග රැසක් ක්‍රීඩා කිරීමට නොහැකි විය. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා ද ඇතුළුව ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයන් දිනාගෙන තිබෙන ක්‍රීඩකයින් මෙම පුහුණු සංචිතය තුළ ස්ථානයක් දිනාගෙන තිබේ.

මාලිංග 2020 IPL හැරයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් මහතා නිමා වූ දේශීය ක්‍රිකට් තරගවාරය තුළ තරග නැරඹීම සඳහා සිය පුහුණු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු ද සමඟින් ක්‍රීඩාංගණ වලට පැමිණ සිටි බව දැකගන්නට ලැබුනි.

ශ්‍රී ලංකා පුහුණු සංචිතය

දිමුත් කරුණාරත්න (නායක), ඕෂද ප්‍රනාන්දු, ලහිරු උදාර, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, මිනෝද් භානුක, ලහිරු තිරිමාන්න, සන්තුෂ් ගුණතිලක, කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, ලසිත් ඇඹුල්දෙනිය, දුවිඳු තිලකරත්න, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු. 

*මෙම පුහුණු සංචිතය තවමත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<