විදුලි බලය තුරුණු ජවය හමුවේ පරාජය වේ

976

ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් සම්මේලනයත්, සිලෝන් බිස්කට් ආයතනයත් එක්ව සංවිධානය කරනු ලබන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් අංශය තෙවන දිනටත් අද (14) මහරගම තරුණ සේවා ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්විය. අර්ධ අවසන් පූර්ව තරඟ අද පැවති අතර එහිදී උණුසුම් පිරිමි අංශයේ තරඟ දෙකකුත්, උණුසුම් කාන්තා තරඟයකුත්, මතභේදයට තුඩු දෙන එක් තරඟයකුත් නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමිවිය.

පසුගිය ලිපි: යුධ, ගුවන්, නාවිකයින් පිරිවරා විදුලි බල මණ්ඩලය ඉදිරියටම

මේ දක්වා පැවති තරඟ වලදී පිරිමි අංශය වෙනුවෙන් ඉදිරියෙන් පසුවූයේ යුධ හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා සහ  විදුලි බල මණ්ඩල යන කණ්ඩායම් වන අතර කාන්තා අංශයෙන් යුධ හමුදා, ගුවන් හමුදා සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් ඉදිරියෙන් පසුවිය.

 පිරිමි අංශය 

දිනයේ ප්‍රථම තරඟය සඳහා පිටියට පැමිණියේ, තරඟාවලිය පුරා මෙතෙක් අපරාජිත වූ යුධ හමුදා කණ්ඩායමත්, ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායමත් ය. එහි ප්‍රථම වටයේදී හොඳින් තරඟයට අවතීර්ණ වූ යුධ හමුදා ක්‍රීඩකයන් සුපුරුදු පරිදි තම ආක්‍රමණකාරී ක්‍රීඩාශෛලීයෙන් ප්‍රතිවාදීන් මෙල්ල කරගන්නට උත්සාහ කළ අතර එය සාර්ථක වූයේ 25-19ක් ලෙස ඔවුන්ව පෙරමුණට ගෙන යමිනි.

දෙවන වටයේදී ආක්‍රමණය සියතට ගත් ගුවන් ක්‍රීඩකයින් පෙර වටයේ ලකුණු පුවරුවම අනෙක් පසට හරවමින් 25-19ක් ලෙස තම පිල ස්ථාවර කරගත්තේය.

ඊට මනා දස්කම් එක්කළ මලිත් දිනිඳු, මොහොමඩ් රිෆ්කි තම කණ්ඩායමේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට සමත් වූ නමුත්, එම විශ්වාසය තෙවන වටය වෙත ගෙනයන්නට ඔවුන්ට ඉඩ නොදුන් යුධ හමුදා ක්‍රීඩකයන් 25-20ක් ලෙස එහි ජය තහවුරු කරගත්තේය.

උණුසුම් රැලි සහ කරට කර ක්‍රීඩා දක්ෂතා වලින් තරඟය වර්ණවත් වන පසුබිමකදී සිව්වන වටය ඇරඹිණි. ඊට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට දෙපිලම සමත් වූවත්, යුධ හමුදා කණ්ඩායම අභිබවා යන්නට එහිදී සමත්වූයේ ගුවන් හමුදා කණ්ඩායමයි. ලකුණු තත්වය 25-19ක් වශයෙන් දිස්විය.

තරඟය මිනිත්තුවෙන් මිනිත්තුව උද්වේගකර වූයේ පස්වන වටයේදී දෙපිලම ලකුණෙන් ලකුණ ඉදිරියට යාමත් සමඟය. තරඟය 11-11ක් ලෙස සම වී තිබියදී ක්‍රියාත්මක වූ මොහොමඩ් රිෆ්කි ගුවන් හමුදාව ලකුණු දෙකකින් පෙරමුණට ගෙන යන්නට සමත් වූයේ දැවැන්ත පහරවල් දෙකකිනි. අනතුරුව නැවතත් ක්‍රියාත්මක වූයේ යුධ හමුදාවේ දිලින සුදාරත්, සුජිත් ලහිරුත් ය. ලකුණු තත්වය 13-13. ලකුණු 15 සීමාවේදීද දෙපිලම සම මට්ටමක සිටි බැවින් තරඟය තවත් ඉදිරියට ගිය අතර එහිදී සාර්ථක වූයේ ගුවන් හමුදා පුහුණුකරු නලීන් සම්පත්ගේ උපක්‍රම ය. එබැවින් 5වන තරඟ වටයේ ජය 20-18ක් ලෙසින් ලබාගත් ගුවන් හමුදා බලඇණිය යුධ හමුදා කණ්ඩායම පරාජය කරමින් තරඟ වට 3/2ක් ලෙස සමස්ත තරඟය ජයග්‍රහණය කළේය.

උණුසුම් තරඟයකින් ආරම්භ වූ දිනයේ මීළඟ තරඟය පැවැත් වූයේ පොලිස් වොලිබෝල් කණ්ඩායමත්, බ්‍රැන්ඩික්ස් වොලිබෝල් කණ්ඩායමත් අතරය.

මහත් උද්යෝගයකින් තරඟයට එක්වී සිටි බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයන් එහි ප්‍රථම වටය ජය ලැබුවේ අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමේ වැරදි අඩුපාඩු ඉතා හොඳින් ග්‍රහණය කරගනිමිනි. එහිදී හෂ්මිත පෙරේරා දක්ෂ ක්‍රීඩා විලාශයක නිරත වූ අතර හරිත හෂාන් ද වේගවත් ප්‍රහාර කිහිපයකින් ඔහුට සහය දැක්වීය. ලකුණු තත්වය දැක්වූයේ 25-20ක් ලෙසයි.

දෙවන වටයත් කල්පනාකාරීව ක්‍රීඩා කළ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩකයින් 25-19ක් ලෙස එහි ජයත් තහවුරු කරගත්තේය.

පොලිස් කණ්ඩායමේ ප්‍රහාරකයන් රිද්මයට පැමිණියේ තෙවන වටයේදී ය. ජී. ටෙරන්ස් සහ එස්. මනම්පේරි යන ක්‍රීඩකයන් එහිදී දක්ෂතා දැක්වූ අතර තෙවන වටය අවසන් වූයේ 25-14ක් ලෙස පහසු ජයක් පොලිසියට හිමිකර දෙමිනි.

සිව්වන වටයේදී තරඟය පෙර නොසිතූ විරූ තරම් උණුසුම් වූ අතර ලකුණු තත්වය 29-27ක් දක්වා ඇදෙන තෙක් දෙපිලම තරඟ වැදුණු පසු බ්‍රැන්ඩික්ස් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් ජය තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායමත් නාවික හමුදා කණ්ඩායමත් වොලිබෝල් ක්‍රීඩා පිටිය වෙත පැමිණියේ දිනයේ තෙවැනි තරඟය වෙනුවෙනි.

තරඟාවලියේ ශක්තිමත් කණ්ඩායමක් ලෙස හැඳින්වෙන වරාය අධිකාරී කණ්ඩායමට ජාතික ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද ඇතුලත්ය. අනෙක් පසින් නාවික හමුදා කණ්ඩායමද මොරිස් චන්දිමාල් වැන්නවුන්ගේ අත්දැකීම් වල සහයෙන් ඉදිරියට පැමිණ තිබිණි.

තරඟයේ මුල් වට දෙක තුළම ප්‍රදර්ශනය වූයේ වරාය අධිකාරී කණ්ඩායම් නායක ජනිත සරත්, රුමේෂ් දිසානායක සහ ජනප්‍රිය වොලිබෝල් ක්‍රීඩක සමීර දිසානායකගේ දස්කම්ය. එක් වරෙක ජනිත සරත් විසින් පන්දු පිරිනැමීම් 3ක් එකපිට ලකුණු බවට පරිවර්තනය කරගත් අතර රුමේෂ් දිසානායක විසින්ද වාර දෙකකදී එකපිට පන්දු පිරිනැමීම් 3බැගින් සාර්ථක කරගනිමින් නාවික හමුදාවේ මානසිකත්වය කඩා වට්ටන්නට සමත්විය. ලකුණු 15-12ක් ලෙස වරාය ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටින අවස්ථාවේ පන්දුව දෙපිල අතර දෝලනය වෙමින් ප්‍රදර්ශනය වූ විචිත්‍ර දීර්ඝ රැලියක් කෙලවර කරන්නට ජනිතගේ වේගවත් ප්‍රහාරයට හැකිවිය. එම වටය ජයගන්නට සමත් වූයේ වරාය අධිකාරියයි.

දෙවන වටයත් ඊට නොදෙවෙනිව ජයගන්නට ඔවුනට හැකිවිය. සමීර දිසානායකගේ රිද්මය එහිදී යම්තාක් දුරකට ප්‍රදර්ශනය විය. තෙවන වටය සඳහා හොඳින් අවතීර්ණ වූ නාවිකයන් නදීප ලක්ෂාන් සහ ගිහාන් සිල්වාගේ දක්ෂතාවයන් ජය ලැබුවේය.

නමුත් සිව්වැනි වටයේදී නැවතත් නාවික කණ්ඩායම වෙත වේගවත් ප්‍රහාරයන් දියත් කළ වරාය අධිකාරී ක්‍රීඩකයින් එය ජයගනිමින් සමස්ත තරඟය ජයග්‍රාහීව නිමා කළේය.

දිනයේ සිව්වැනි තරඟය සඳහා එක්වූයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් හරි අඩක් පමණ ක්‍රීඩා කරන විදුලි බල මණ්ඩල කණ්ඩායමත්, නව යොවුන් ශක්තියෙන් සන්නද්ධ තරුණ සේවා සභා කණ්ඩායමත් ය.

තරඟය ආරම්භ වූයේ නව යෞවනයන්ගේ දක්ෂතා ප්‍රදර්ශනයට විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් විසින් වේදිකාවක් තනා දෙනු ඇතැයි යන ධනාත්මක සිතුවිල්ල නරඹන කා හටත් ඇතිකරමිනි. තරඟාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස බොහෝ දෙනා හඳුන්වන විදුලි බල මණ්ඩල කණ්ඩායමේ උසස් ක්‍රීඩා උපායන් හමුවේ තරුණ සේවා සභාවේ ක්‍රීඩකයන් කෙසේ ක්‍රීඩා කරාවිදැයි යන පැනය කාගේ සිත තුළත් පැවතිණි.

නමුත් තත්වය වෙනස් කරමින් ප්‍රථම වටය ඉතා පහසුවෙන් ජයගන්නා ලද්දේ 25-16ක් ලෙස තරුණ සේවා සභා ක්‍රීඩකයන් විසිනි. තරුණ සේවා කණ්ඩායම වෙනුවෙන් සාලින්ද විරාජ්, රංග ප්‍රභාත් සහ ටී. කෞෂිගන් විසින් ප්‍රහාරයන් එල්ල කළත් විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන්ගෙන් දිස්වූයේ අලස ක්‍රීඩා විලාශයකි.

කෙසේවෙතත් තරඟාවලි ලකුණු සටහනේ තම ස්ථානය වෙනස් කරගැනීමේ අවශ්‍යතාවක් විදුලි බල කණ්ඩායමට ඇතැයි මත පලවන්නට පටන්ගැනුණේ ඉන් පසුවයි. විදුලි බල මණ්ඩලය මේ තරඟය ජය ලැබුවේ නම් අවසන් පූර්ව වටයේදී ඔවුනට යුධ හමුදාවට මුහුණ දීමට සිදුවන හෙයින් ඔවුන් තරඟය පරාජය වීමේ සිතුවිල්ලෙන්ම තරඟය ආරම්භ කරන්නට ඇතැයි නොයෙක් මත පලවිය.

දෙවන තරඟ වටයත් අලසව ක්‍රීඩා කළ විදුලි බල මණ්ඩලය එයද පරාජය වූයේ 25-17ක් ලෙසයි. අවසානයේදී තරඟය නිමාව දුටුවේ 25-16, 25-17, 25-16ක් ලෙස තරුණ සේවා වොලිබෝල් කණ්ඩායමට අලස තරඟයක ජයක් හිමිකර දෙමිනි. කෙසේ වෙතත් යොවුන් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් තරුණ සේවා සභා කණ්ඩායම සිතට ගතයුත්තේ ඔවුනට තව හොඳින් කාලය ඇතිබවත්, මනස ස්ථාවර කොටගෙන නොසැලී ඉදිරියට යායුතු බවත්ය.

 කාන්තා අංශය.  

දිනයේ ප්‍රථම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණේ යුධ හමුදා සහ පොලිස් වනිතාවන් අතර වුවත් පොලිස් කාන්තා කණ්ඩායමේ නොපැමිණීම නිසා ජය හිමිවූයේ යුධ හමුදා කාන්තා කණ්ඩායමටයි.

දෙවන තරඟය සඳහා එක්වූ වරාය අධිකාරී කාන්තා කණ්ඩායමත් කැෂුවල් ලයින් කණ්ඩායමත් අතුරින් ප්‍රථම වටයේ ඉදිරිය ගන්නට කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සමත් වූයේ 25-08ක් ලෙසයි. ලක්ෂි ප්‍රබෝධිනී, නිෂිනිකා සඳමාලිගේ දක්ෂතා එහිදී කැපී පෙනුණු අතර වරාය අධිකාරී කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන්ට ඔවුන්ව නවතාගැනීම තරමක් අපහසු විය.

දෙවන වටයේදී කරට කර තරඟයක් දැකිය හැකි වූ අතර එහිදී හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩිකා චන්දිමා අකරවිට, වරාය ක්‍රීඩිකාවන්ට ශක්තිය එක්කළාය. කෙසේවෙතත් කැෂුවල් ලයින් තරුණ ජවය හමුවේ 25-23ක් ලෙස පරාජය ලබන්නට වරාය ක්‍රීඩිකාවන්ට සිදුවිය. තෙවන වටයේදී 25-22ක් ලෙස ජයගනිමින් කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන් සමස්ත තරඟය ජයගන්නා ලදී.

කලකට පසුව උණුසුම් කාන්තා වොලිබෝල් තරඟයක් නැරඹීමේ අවස්ථාව වොලිබෝල් ප්‍රේක්ෂකයන්ට හිමිකරදෙමින් මීළඟට තරඟ බිමට පිවිසුණේ ප්‍රබල කාන්තා කණ්ඩායම් දෙකක් වන ගුවන් හමුදා සහ නාවික හමුදා කාන්තා කණ්ඩායම් යුගලයයි.

එන්. සංජීවනීගේ නායකත්වයෙන් යුතුව පිටියට පිවිසුණු නාවික හමුදා කාන්තාවන්ගේ ප්‍රතිවාදීන් වූ ගුවන් හමුදා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ දිනේෂා ප්‍රසාදිනී විසිනි. දෙදෙනාම කණ්ඩායම් දෙකේ ප්‍රබල ක්‍රීඩිකාවන් බව සපථ කරමින් දෙපිලේම ජයඝෝෂා මැද ක්‍රියාත්මක වූ තරඟයේ මුල් වටය ජයගනු ලැබුවේ නාවික ක්‍රීඩිකාවන් විසින් 26-24ක් ලෙසිනි.

දෙවන වටයේදී නාවික කාන්තා බලඇණියට නොබියව අභියෝග කළ ගුවන් ක්‍රීඩිකාවන් එහි ජයගනු ලැබුවේ 25-19ක් ලෙසයි. ඊට නොමඳ සහයක් ලබා දෙන්නට ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ අශානි චමෝදිකා සහ ඉරේෂා උදයන්ගනී සමත්විය.

පසුව තෙවන වටයේදී දිස්වූයේ දෙපිලම කරට කර ක්‍රීඩා කරන අයුරුයි. නාවික හමුදා කාන්තා බල ඇණියේ ඩී. ඩී. පෙරේරා සහ ගුවන් හමුදා බල ඇණියේ රිද්මි සකුන්තලා පහරට පහර එල්ල කරමින් ඒ වටය උණුසුම් කළාය. තෙවන වටය අවසාන වූයේ 25-22ක් ලෙස නාවික වනිතාවන්ට ජය හිමිකර දෙමිනි.

සිව්වැනි වටය ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගත් අතර දෙපිලම උද්‍යෝගයෙන් තරඟයට අවතීර්ණවී සිටියේය. දෙපිලෙන්ම පහරට පහර එල්ලවන වොලිබෝල් පිටිය දිස්වූයේ එකම යුධ පිටියක් ලෙසිනි. කෙසේවෙතත් උසින් වැඩි ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අභිමුවෙහි නොසැලෙමින් ටී. ලක්ෂානි සහ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායමේ ලිබරෝ ක්‍රීඩිකාව එක්ව නාවික හමුදා කාන්තාවන්ගේ බලාපොරොත්තු එළිය කරන්නට සමත්විය. සිව්වැනි වටය උණුසුම් අයුරින් නිමා වූයේ 25-22ක් ලෙස එම වටයේ ජයත් සමස්ත තරඟයේ ජයත් නාවික හමුදා කාන්තා කණ්ඩායමට හිමිකර දෙමිනි.

දින තුනක් අවසානයේ තරඟාවලිය ඉතාමත් උණුසුම් මට්ටමක පවතින නමුත් දිනයේ අවසන් පිරිමි තරඟය නිමා වූයේ විදුලි බල මණ්ඩල කණ්ඩායමේ ක්‍රීඩාශීලීභාවය ගැන ප්‍රශ්නාර්ථයක් මතුකරමිනි. කෙසේවෙතත් කාන්තා වොලිබෝල් පිටියද කෙමෙන් උණුසුම් වෙමින් පවතින බැවින් ඉන් තරඟාවලියේ ඉදිරිය ගැන යහපත් බලාපොරොත්තු අප සියළු දෙනාගේ සිත්හි දැල්වෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට