යුධ, ගුවන්, නාවිකයින් පිරිවරා විදුලි බල මණ්ඩලය ඉදිරියටම

1148

මන්චි ජාතික වොලිබෝල් තරගාවලිය (සුපර් ලීග් දෙවැනි දිනය - කාන්තා) තරුණ සේවා සභා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comසුපර් ලීග් දෙවැනි දිනයේදී වරාය අධිකාරී සමාජය සමඟින් තරග වැඳ ජයග්‍රහණය සමරණ විදුලි බල මණ්ඩල ක්‍රීඩකයෝ ©ThePapare.comමන්චි ජාතික වොලිබෝල් තරගාවලිය (සුපර් ලීග් දෙවැනි දිනය - පිරිමි) විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරී ක්‍රීඩා සමාජය අතර තරගයේ ඡායාරූපයක්. ©ThePapare.comමන්චි ජාතික වොලිබෝල් තරගාවලිය (සුපර් ලීග් දෙවැනි දිනය - පිරිමි) විදුලි බල මණ්ඩල ක්‍රීඩා සමාජය සහ වරාය අධිකාරී ක්‍රීඩා සමාජය අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comමන්චි ජාතික වොලිබෝල් තරගාවලිය (සුපර් ලීග් දෙවැනි දිනය - පිරිමි) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ බ්‍රැන්ඩික්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.comමන්චි ජාතික වොලිබෝල් තරගාවලිය (සුපර් ලීග් දෙවැනි දිනය - පිරිමි) වරාය අධිකාරී ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා ක්‍රීඩා සමාජය අතර තරගයේ ඡායාරූපයක් ©ThePapare.com

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් වටයේ තරඟ අද (11) දෙවන දිනටත් පැවැත්වූයේ මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේදීයි.

පසුගිය ලිපි: නාවික හමුදාවට විදුලි බල මණ්ඩලයෙන් අභියෝගයක්

එහිදී පිරිමි අංශය වෙනුවෙන් ජයග්‍රහණ ලබා ගන්නට විදුලි බල මණ්ඩල කණ්ඩායම, යුධ හමුදා කණ්ඩායම, ගුවන් හමුදා කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායමත්, කාන්තා අංශයේ ජයග්‍රහණ ලබා ගන්නට යුධ හමුදා කාන්තා කණ්ඩායමත්, ගුවන් හමුදා කාන්තා කණ්ඩායමත් සමත් විය.

අද දිනයේ පැවති තරඟ හයෙන් දෙකක්ම අතිශය උණුසුම් තරඟයන් බවට පත්වූයේ ක්‍රීඩකයින්ගේ උද්යෝගය පෙර දිනයට වඩා නිසැක වශයෙන්ම ඉහල මට්ටමක තිබූ බැවිනි.

පිරිමි අංශය.

දිනයේ ප්‍රථම තරඟය වෙනුවෙන් පිටියට පා තැබුවේ යුධ හමුදා වොලිබෝල් කණ්ඩායම සහ පොලිස් වොලිබෝල් කණ්ඩායමයි. යුධ හමුදා ක්‍රීඩකයන්ට කිසිදු අභියෝගයකින් තොරවම තරඟය ජය ගත හැකිවූයේ 25-16, 25-17, 25-13ක් ලෙසයි.

දෙවන තරඟය උදේ 11.00ට පැවැත් වූයේ ප්‍රබල ගුවන් හමුදා වොලිබෝල් කණ්ඩායම සහ බ්‍රැන්ඩික්ස් වොලිබෝල් කණ්ඩායම අතරයි. සියළු දෙනා බලාපොරොත්තු වූ පරිදිම තරඟය උණුසුම් මුහුණුවරක් ගත් අතර වට හතරක් දක්වා තරඟය ඇදී ගියේය. අසංක ප්‍රදීප්, නලීන් සම්පත් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ලංකාවට දායාද කළ ගුවන් හමුදා වොලිබෝල් බලඇණියේ වත්මන් දක්ෂතා නැරඹීම සඳහා එක් වටයක් ඉවසන්නට ප්‍රේක්ෂකයන්ට සිදුවිය. ප්‍රථම වටයේ අවසාන භාගයේදී තම සුපුරුදු ක්‍රීඩා විලාශයට එළඹුනත්, ගුවන් හමුදා කණ්ඩායමට එය 25-23ක් ලෙස පරාජය ලබන්නට සිදුවූයේ ප්‍රථම වටයේ මුල්භාගයේ සිදු වූ වැරදි කිහිපයක් නිසාවෙනි. එහෙත් නලීන් සම්පත්ගේ සාර්ථක උපදේශනය හමුවේ ඔවුන් මීළඟ වට තුනම ජයගත්තේ 25-22, 25-12 සහ 25-18ක් වශයෙනි.

තරඟාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි විදුලි බල මණ්ඩල කණ්ඩායම තරඟ බිමට පිවිසියේ තෙවන තරඟය වෙනුවෙනි. ඒ තවත් ප්‍රබල කණ්ඩායමක් වන වරාය අධිකාරී කණ්ඩායමට එරෙහිවයි. සමීර දිසානායක, උදය රුක්මාල් වැනි ජාතික ක්‍රීඩකයන්ගෙන් සමන්විත වරාය අධිකාරී කණ්ඩායමට, ශ්‍රී ලංකාවේ වොලිබෝල් සලකුණක් ලෙස හැඳින්වෙන කාලික වසන්තප්‍රිය වැනි දැවැන්තයෙකුගේ පුහුණුකාරීත්වය ලැබී තිබීම මඟින් පෙනී යන්නේ විදුලි බල මණ්ඩලයට තරඟය එතරම් පහසු නොවනු ඇති බවයි.

කෙසේවෙතත් උද්යෝගකර තරඟයකට මුලපුරමින් 25-21ක් ලෙස මුල් වටය ජයගත්තේ විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන් විසිනි. දෙවන වටයේදී ද ජාතික ක්‍රීඩකයන් රැසකගේ සහභාගීත්වය දරන විදුලි බල මණ්ඩල කණ්ඩායම 25-22ක් ලෙස ජයගත්තේය. තෙවන වටය උණුසුම් කරමින් දෙපසින්ම ආ ප්‍රහාරයන් අතර එහි ජය හිමිවූයේ 25-21ක් ලෙස වරාය අධිකාරියටයි. නමුත් කණ්ඩායමේ ශක්තිය මැනවින් විදහා දැක්වූ විදුලි බල මණ්ඩල කණ්ඩායම 25-21ක් ලෙස සිව්වන වටය ජයගෙන තරඟයේ ජය අත්පත් කරගත්තේය.

සුපුරුදු පරිදි දිනයේ අවසන් තරඟය වට පහක උණුසුම් තරඟයක් බවට පත්වූයේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රීඩකයන්ගෙනුත්, නාවික හමුදා ක්‍රීඩකයන්ගෙනුත් කරට කර තරඟයක් නැරඹීමේ අවස්ථාව ද ප්‍රේක්ෂකයන්ට හිමිකර දෙමිනි. තම නිජබිම තුළ සටන් වැදුණු ජාතික තරුණ සේවා සභා ක්‍රීඩකයන් වෙත උණුසුම් ප්‍රතිචාර ද හිමිවිය. එහෙත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් නාවික හමුදා ක්‍රීඩකයන් ප්‍රථම වටයට එළඹුණේය. ලකුණු 10ක් දක්වා තරඟය දෙපිල අතරේම දෝලනය විය. 10-10ලෙස වූ ලකුණු තත්වය 13-10ක් දක්වා වෙනස් කිරීම සඳහා නාවික හමුදා වොලිබෝල් නායක ගිහාන් සිල්වා පන්දු පිරිනැමීම් 3ක් එකපිට සාර්ථක කරගත්තේය. නමුත් නාවික හමුදාවේ ප්‍රහාරකයන් අන්ද මන්ද කරමින් ලකුණු 19-18ක් දක්වා ලකුණු තත්වය නැවත වෙනස්කරන්නට තරුණ සේවා සභා කණ්ඩායමේ අවහිර කරන්නන් සමත් විය. ඊට එකපිට එක වාර්තා වූ විශිෂ්ට අවහිර කිරීම් හතරක් ඇතුලත් විය. අවසානයේදී ප්‍රථම වටය නිමාකරමින් නාවික ක්‍රීඩකයන්ව ලකුණු 22 සීමාවේ නවතාලූ තරුණ සේවා ක්‍රීඩකයින් 25-22ක් ලෙස එය ජයගත්තේය.

දෙවන වටය ආරම්භයේදීම තරඟයට හොඳින් අවතීර්ණ වූ නාවික ක්‍රීඩකයින් 25-20ක් ලෙස එහි ජය තහවුරු කරගත්තේය.

තෙවන වටයේදී උණුසුම් රැලි කිහිපයක්ම දැකගත හැකි විය. එහිදී නාවික හමුදා කණ්ඩායමේ නදීප ලක්ෂාන් තම රිද්මය මැනවින් හඳුනාගත් අතර එම වටය නිමාවූයේ 25-14ක් ලෙස නාවිකයන් ඉදිරියට ගෙනයමිනි.

සිව්වැනි වටය ආරම්භයේදී දිස්වූයේ කරට කර තරඟයකි. ලකුණු 10 සීමාවේදී තරුණ සේවා සභාව 10-08ක් ලෙස ඉදිරියෙන් පසුවිය. එහිදී රංග ප්‍රභාත් සහ ධනුෂ්ක තම සියළු වැර යොදා පහරවල් එල්ල කළ අතර නාවිකයන්ගේ අවහිරයන් ඒ ඉදිරියේ අසරණ විය. පසුව ලකුණු තත්වය 22-22ක් ලෙස සම වූ අතර ඉන් ඉදිරියට නාවිකයන්ට එකම එක ලකුණක් පමණක් ලබා දෙමින් රැලි 3ක් සාර්ථක කරගත් තරුණ සේවා ක්‍රීඩකයන් එම වටය ජය ලැබුවේය.

තරඟය පස්වන වටය දක්වා ඇදීගියේ ඉන් අනතුරුවයි. 05-05ක් ලෙස ආරම්භ වූ රැලි, මොහොතකදී 13-12 බවට පත්වූයේ නාවික කණ්ඩායම ලකුණකින් ඉදිරියේ තබමිනි. කණ්ඩායම් දෙකම මුළු ශක්තිය යොදා ක්‍රීඩා කළත් අවසානයේදී අඩුවෙන් වැරදි කළ නාවික හමුදා කණ්ඩායම 15-12ක් ලෙස එම වටය ජයගනිමින් 3/2ක් ලෙස සමස්ත තරඟයේ ජය ලැබුවේය.

කාන්තා අංශය.

ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට ලාලිත්වයත් තරඟකාරීත්වයත් එක්කරන කාන්තා වොලිබෝල් පිටියට උදෑසනින්ම එක්වූයේ යුධ හමුදා ක්‍රීඩිකාවන් සහ වරාය අධිකාරී ක්‍රීඩිකාවන් ය. යුධ හමුදා කාන්තාවන්ගේ ජවය එහිදී කැපීපෙනුණු අතර ප්‍රථම වටය පමණක් පරාජය වෙමින් අන් සියළු වට ජයගන්නට ඔවුන් සමත් විය. ලකුණු තත්වය දිස්වූයේ 24-26, 25-19, 25-11, 25-17ක් වශයෙන් යුධ හමුදා ක්‍රීඩිකාවන් ඉදිරියෙන් තබමිනි.

දෙවන තරඟය ගුවන් හමුදා කාන්තාවන් සහ තරුණ සේවා කාන්තාවන් අතර පැවැත්විණි. පෙර දිනයේ නාවික හමුදා ක්‍රීඩිකාවන්ගෙන් ප්‍රහාරයට ලක්වූවා සේම ශරීර ප්‍රමාණයෙනුත් අත්දැකීම් වලිනුත් හීන වූ තරුණ සේවා සභා ක්‍රීඩිකාවන් මේ තරඟයේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ ප්‍රහාරයට ලක්විය. එම තරඟය අවසන් වූයේ 25-11, 25-12, 25-11ක් ලෙස පහසු ජයක් ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට ලබා දෙමිනි.

අනෙකුත් තරඟ දෙක නිතරඟයෙන් අවසන් වූ අතර කැෂුවල් ලයින් සහ නාවික හමුදා ක්‍රීඩිකාවන් ඉන් ලකුණු උපයාගත්තේය.

මේ වසරේ වසර 100ක ඉතිහාසය සමරන ශ්‍රී ලංකා වොලිබෝල් පිටිය “මන්චි ජාතික වොලිබෝල් තරඟාවලියත් සමඟින්” යළි ඉපදී ඇත. ඉන් ඵල ප්‍රයෝජන ලබන සුපර් ලීග් කාණ්ඩයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එළඹෙන 14වන දාත් තරඟාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ මූලික තරඟ සඳහා එක්වීමට නියමිතය. වසර 100ක වොලිබෝල් ඉතිහාසය සිහිකරමින් ක්‍රීඩා අමාත්‍යතුමා සහ නිලධාරීන් විසින් සමරු පන්දුවක අත්සන් තැබීමද එදින සිදුවීමට නියමිතයි.

තවත් වොලිබොල් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට