නාවික හමුදාවට විදුලි බල මණ්ඩලයෙන් අභියෝගයක්

1566
National Volleyball ChampionshipMunchee National Volleyball Championship 2016 Super League Day 1National Volleyball Championship

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා සිලෝන් බිස්කට් සමාගම එක්ව 11 වන වරටත් සංවිධානය කරන “මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ” සුපර් ලීග් අංශයේ තරග අද (10) මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී ආරම්භ විය. ප්‍රථම දිනයේ අවසානය සනිටුහන් වන විට පිරිමි අංශයේ මූලික තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට යුධ හමුදා, ගුවන් හමුදා, වරාය අධිකාරිය සහ විදුලිබල මණ්ඩල යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් සමත් විය.

පසුගිය ලිපි: කුරුණෑගලින් ඇරඹි රන් කුසලානය ජාතික මට්ටමට

සුපර් ලීග් සහ ආධුනික, වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරඟාවලිය පැවැත්වෙන අතර කාන්තා සහ පිරිමි යන අංශ දෙකෙන්ම, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් කණ්ඩායම් 100ක් ආධුනික කාණ්ඩයෙන්ද, දිවයිනේ ප්‍රමුඛ වොලිබෝල් කණ්ඩායම් 16ක් සුපර් ලීග් කාණ්ඩයෙන්ද, තරඟාවලියේ ශූරතාවයන් සඳහා තරග කරනු ලබයි.

පිරිමි අංශය

පිරිමි අංශය නියෝජනය කරමින් ප්‍රථමයෙන්ම යුධ හමුදා කණ්ඩායමත්, බ්‍රැන්ඩික්ස් කණ්ඩායමත් තරඟ බිමට පිවිසි අතර එහිදී 25-17, 27-25, 25-22ක් වශයෙන් ජයග්‍රහණය ලබා ගත්තේ යුධ හමුදා කණ්ඩායමයි.

දිනයේ දෙවන තරඟය සඳහා එක්වූයේ ගුවන් හමුදා කණ්ඩායම සහ පොලිස් කණ්ඩායමයි. දශක ගණනක විශිෂ්ඨ වොලිබෝල් ඉතිහාසයකට හිමිකම් කියන ගුවන් හමුදා කණ්ඩායම එහිදී ජය ලබා ගත්තේ 25-23, 25-20, 25-23ක් වශයෙනි.

තෙවනුව පිටියට පිවිසියේ ශ්‍රී ලංකා වරාය අධිකාරී කණ්ඩායමත්, ජාතික තරුණ සේවා සභා කණ්ඩායමත් ය. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් සපයන මූලික ප්‍රභවයන් දෙකක් වූ මෙම කණ්ඩායම් දෙකම, ඉතාමත් ක්‍රීඩාශීලීව තරග වඳින ආකාරයක් දක්නට ලැබුනි.

ප්‍රථම සහ දෙවන වටයන් 25-20ක් සහ 25-19ක් වශයෙන් ජයග්‍රහණය කරනු ලැබූවේ වරාය අධිකාරී කණ්ඩායමයි. නමුත් තෙවන වටය උණුසුම් කරමින් තරුණ සේවා සභා කණ්ඩායම 25-23ක් ලෙස එය ජයග්‍රාහීව නිමා කිරීමට සමත් විය. සිව්වැනි වටයේදී යළිත් තරඟයට අවතීර්ණ වූ වරාය අධිකාරී ක්‍රීඩකයින් එම වටය 25-18ක් ලෙස ජයගනිමින් තරඟයද ජයග්‍රහණය කිරීමට සමත් විය.

දිනයේ වඩාත් උණුසුම්ම තරඟය පැවැතියේ ඉන් අනතුරුවයි. නවක කණ්ඩායමක් ලෙස තරඟාවලියට පිවිස සිටින විදුලි බල මණ්ඩල කණ්ඩායම, ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් නම් කිසිදු අඩුවක් පෙන්වූයේ නැත. විදුලි බල මණ්ඩල කණ්ඩායමේ මුළු ක්‍රීඩකයන් 12දෙනාගෙන්, හත් අට දෙනෙකුම ජාතික තලයේ ක්‍රීඩකයන් වූ අතරම අනෙකුත් සෑම ක්‍රීඩකයෙකුමත් යොවුන් හා කනිෂ්ඨ මට්ටමේදී ජාතික කණ්ඩායම නියෝජනය කළ අයවළුන් වීම විශේෂත්වයකි. ඊට දෙවැනි නොවුනු නාවික හමුදා කණ්ඩායමටද, ජාතික ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත්ව සිටිනු දක්නට ලැබුනි.

වසර 10කට වැඩි ජාතික කණ්ඩායම් පළපුරුද්ද ඇති මොරිස් චන්දිමාල් සහ වත්මන් ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ශානක මධුශංක වැනි ක්‍රීඩකයන් සමඟින් නාවික හමුදා කණ්ඩායම තරඟයට පිවිසි අතර අනෙක් අන්තයෙන් ඊට අභියෝග කළේ දීප්ති රුමේෂ්, ශ්‍රී ලංකා ලිබරෝ ක්‍රීඩක ලක්මාල් සහ ගයාන් මධුශංක වැනි දක්ෂ ක්‍රීඩකයන්ය.

ප්‍රථම වටයේදී 25-22ක් ලෙස ජයග්‍රහණය ලැබුවේ විදුලි බල මණ්ඩල ක්‍රීඩකයන්ය. එහෙත් දෙවන වටය තමා සතු කරගත් නාවිකයෝ 25-21ක් ලෙස එම වටය ජයග්‍රහණය කලහ. තෙවන වටයේදී තරඟය මැනවින් හඳුනාගත් විදුලි බල මණ්ඩල ක්‍රීඩකයින් එය පහසුවෙන් ජයගත්තේ 25-15ක් ලෙසිනි. ඊට දීප්තිගේ අත්ලින් එල්ල වූ දැවැන්ත පහරවල් කිහිපයක්ම ඇතුළත් විය. තෙවන වටය එතරම් පහසුවෙන් ජයගන්නට ප්‍රතිවාදීන් වූ නාවිකයන් විදුලි බල මණ්ඩල ක්‍රීඩකයින්ට ඉඩ ලබා දුන්නේ නැත. එම වටයේ රැලි කිහිපයක්ම ඉතා උණුසුම් මුහුණුවරක් ගත් නමුත්, මුලදී ලබා ගත් ලකුණක පරතරය තම වාසියට හරවාගත් විදුලි බල මණ්ඩල කණ්ඩායම, 27-25ක් ලෙස එම වටය ජයගනිමින් තරඟාවලියට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සමත් විය.

කාන්තා අංශය

කාන්තා අංශයේ තරඟ හතරින් දෙකක්ම නිමා වූයේ නිතරඟයෙනි. එහෙත් කාන්තා අංශයේ ප්‍රථම තරඟය වර්ණවත් වූයේ යුධ හමුදා කණ්ඩායමේ අනුහසිනි.

යුධ හමුදා කාන්තා කණ්ඩායම තරඟයේ ප්‍රථම වටය 25-18ක් ලෙස ජයග්‍රහණය කල අතර දෙවන වටය ද ඔවුන් ජයගත්තේ කැෂුවල් ලයින් ක්‍රීඩිකාවන්ට සිතාගන්නට වත් වේලාවක් ඉතිරි නොකරමින් 25-10ක් ලෙසයි. තෙවන වටය අනපේක්ෂිත ලෙස 25-21ක් ලෙස පරාජය වීමට යුධ හමුදා වනිතාවන්ට සිදුවූවත්, සිව්වන වටයේදී 25-07ක් ලෙස පහසුවෙන් ජයගන්නට ඔවුන් සමත් විය.

දෙවන තරඟය සඳහා වරාය අධිකාරී කාන්තා කණ්ඩායම සූදානම්ව සිටියත්, පොලිස් කණ්ඩායමේ නොපැමිණීම නිසාවෙන් ජයග්‍රහණය හිමිවූයේ වරාය අධිකාරී ක්‍රීඩිකාවන්ටයි.

තෙවන තරඟයද නිතරඟයෙන් ජයගනු ලැබූවේ ගුවන් හමුදා කණ්ඩායමයි.

සිව්වන තරඟයට එක්වූයේ නවකයින්ගෙන් සැදුම් ලත් තරුණ සේවා සභා කාන්තා කණ්ඩායමත්, අත්දැකීම් බහුල නාවික හමුදා කාන්තා කණ්ඩායමත් වන අතර තරඟයේදී වඩාත් කැපිපෙනුනේ එක් පිලක දක්ෂතා පමණි. 25-08, 25-15, 25-12 ලෙස පහසුවෙන් තරඟය ජයගත් නාවික හමුදා වනිතාවන් තරඟාවලියේ ලකුණු සටහනේ ඉදිරියට පැමිනෙන්නට සමත් විය.

කෙසේ වෙතත් තරගාවලියේ ඉදිරි දිනයන් පිළිබඳඉතාමත් හොඳ බලාපොරොත්තු තබා ගත හැකි අතර තරඟාවලියක උණුසුම වර්ධනය වන්නේ අවසාන භාගයේදී බැවින්, සියළු දෙනා නෙත් දල්වා බලා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවේ නැවුම් දක්ෂතා කලඑළිබසින තුරුයි.

මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලියේ මූලික වටයේ තරඟ කිහිපයක් 11 (හෙට), 14 සහ 15 යන දිනයන් වලදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය නොවැම්බර් මස 25 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වෙනු ඇත.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට