CSK නායකයා සිය ක්‍රීඩා දිවිය සම්බන්ධයෙන් තීරණයක් ගනියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020

533

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලි ඉතිහාසයේ පළමු වරට පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලැබීමේ වරම අහිමි වී ගිය Chennai Super Kings කණ්ඩායම මෙම තරගවාරයේ දී ඔවුන් අතින් සිදු වූ අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින් වඩාත් වෙනස් මුහුණුවරකින් එළඹෙන තරගාවලිය වෙත අවතීර්ණ වීමට අපේක්ෂා කරන බව නායක M. S. Dhoni අවධාරණය කර තිබුනි. 

Dream 11 IPL 2020 තරගාවලියේ තමන් මුහුණදුන් පළමු තරග 11න් 8ක්ම පරාජයට පත් වූ Chennai ක්‍රීඩකයින් හට පිළිමළුන් පිටුදැකීමේ වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ගිලිහී ගියේ ශූරතාවය කෙරෙහි තබා තිබූ බලාපොරොත්තු සියල්ලක්ම සුනුවිසුණු කර දමමිනි. නමුත් අවසන් තරග ත්‍රිත්වයේ දී අපේක්ෂා කළ ප්‍රතිඵලයන් වෙත ළඟා වීමට ඔවුන් සමත් වුවත් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට තරම් ඔවුන්ගේ එම දක්ෂතාවන් ප්‍රමාණවත් නොවීය.  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න;

දේශීය තරග බිමේ දක්ෂතා අතර සිටි Ruturaj Gaikwad වැනි නවක ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම අවසන් තරග ත්‍රිත්වයේ දී Chennai කණ්ඩායමේ ජයග්‍රහණයන් වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් අතර එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරන යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක Sam Curran ද තරගවාරය ආරම්භයේ සිට අවසානය දක්වා ඔහුගේ ක්‍රීඩා කෞෂල්‍යයන් මැනවින් විදහා දැක්වීමට සමත් විය. 

කණ්ඩායමේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් ඔවුන් වෙත පැවරුනු කාර්යභාරයන් ඉටු කිරීමේ දී අඩුපාඩු දිස් වූ නිසාවෙන් එය අවසන් ප්‍රතිඵලයට ඍජු බලපෑමක් එල්ල කළ බව CSK නායක මහේන්ද්‍ර සිං දෝනි තරගාවලියෙන් ඉවත් වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව සඳහා සහභාගී වෙමින් පවසා සිටියේය. එළඹෙන තරගාවාරය සඳහා ඉදිරි සැලසුම් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව ද එහිදී ඔහු සඳහන් කර තිබුනි. 

“ඉදිරිය මොන වගේද කියලා ගොඩක් දුරට තීරණය වෙන්නේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රීඩක වෙන්දේසිය සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පිළිවෙත අනුව තමයි. අපේ කණ්ඩායමේ ඇතුළේ වෙනස්කම් කිහිපයක් සිදුකරන්න දැන් කාලය එළැඹිලා තියෙන්නේ. අපි සැලසුම් සකස් කරන්න ඕන ඉදිරි අවුරුදු 10 ගැන හිතලා. දැන් තමයි වෙනසක් කරනවා නම් හොඳම කාලය, මොකද අනාගත පරම්පරාවට ශක්තිමක් කණ්ඩායමක් නිර්මාණය කරලා දෙන්න නම් දැන්ම ඉඳන් ඒ වෙනුවෙන් කටයුතු කරන්න ඕන.” 

“ලබන තරගාවරය මීට වඩා ගොඩක් වෙනස් වෙයි. මීට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිඵලයක් බලාගන්න හැමෝටම පුළුවන් වෙයි කියලා මම හිතනවා. මේ තරගවාරයේ දී ගොඩක් කණ්ඩායම් හොඳින් තරග කරපු නිසා තරමක් අභියෝගාත්මක වුනා. නැත්තන් තව කෙනෙක්ට කියන්න පුළුවන් Mumbai Indians උපරිම දක්ෂතාව පෙන්වද්දී අනෙක් කණ්ඩායම් පළවෙනි කණ්ඩායම් හතර අතරේ රැඳී ඉන්න ලොකු සටනක් ලබාදුන්නා කියලා. ඒක ඉතින් අපි තරගාවලිය දිහා බලන විදිය අනුව වෙනස් වෙනවා.” 

මෙම IPL තරගවාරයෙන් අනතුරුව අනාගතය සම්බන්ධයෙන් කුමන ආකාරයේ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන්නේද යනුවෙන් ක්‍රිකට් විචාරක Danny Morrison යොමුකළ පැනයට පිළිතුරු දෙමින් Dhoni පවසා සිටියේ ලබන වසරේ දීත් ඔහු චෙන්නායි ජර්සිය පැළඳ ක්‍රීඩා කරන අයුරු දැකබලා ගැනීමේ අවස්ථාවක් ඔහුගේ රසිකයන් හට උදාවනු ඇති බවයි. 

“අනිවාර්යයෙන්ම මෙය මම චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් තරගය නෙවෙයි.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<