“එහෙටත් නැති මෙහෙටත් නැති Umpire’s Call වෙනස් විය යුතුයි!”

1055
Let’s just ban umpire’s call

විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ ක්‍රමවේදය නැතහොත් DRS තාක්ෂණයේ ඇතැම් භාවිතයන් ක්‍රීඩාවේ වත්මන් ස්වරූපයට ඔබින ආකාරයෙන් යාවත්කාලීන කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇති බව ICC Elite විනිසුරු මඬුල්ලේ හිටපු සාමාජිකයෙකු වූ Daryl Harper මහතා පසුගිය දා අවධාරණය කොට සිටියා.

දශකයකට ආසන්න කාලසීමාවක සිට DRS තාක්ෂණය භාවිතයෙන් ක්‍රිකට් පිටියේ තීරණාත්මක විනිශ්චයන් රැසක් ලබා දී ඇතත්, තවමත් එහි පවත්නා යම් අඩුපාඩුකම් සහ සන්නිවේදන දුර්වලතාවන් නිසාවෙන් ඇතැම් අවස්ථාවන්වල දී අසාධාරණ තීරණයන්  සාධාරණීකරණය කිරීමේ ඉඩකඩක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නට විය. 

ප්‍රධාන විනිසුරුතුමන්ගේ ඇසට හසුනොවන ඇතැම් සූක්ෂම අවස්ථාවන් නවීන තාක්ෂණික මෙවලම් ඔස්සේ නිවැරදි කරමින් සාධාරණ තීන්දු තීරණ ලබා දීමේ අරමුණින් මෙම DRS ක්‍රමවේදය ස්ථාපනය කිරීමට ICCය කටයුතු කොට තිබේ. විශේෂයෙන්ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකොට ගැනීමට දරන ප්‍රයත්නයන්හී විනිසුරුවන් අතින් සිදු විය හැකි අතපසුවීම් මඟ හැරීමට මෙම ක්‍රමය බෙහෙවින් දායක කරගැනේ.

නමුත් LBW (කඩුල්ල මුවා කිරීම) අවස්ථාන්හී Umpire’s call නැතහොත් පිටියේ විනිසුරුගේ තීරණයට එකඟ විය යුතු යැයි Hawkeye තාක්ෂණය මඟින් අනාවැකි පල කළ විට ඇති වන ගැටලුකාරී තත්වය පිළිබඳ මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. යම් හෙයකින් පිටියේ විනිසුරු විසින් පිතිකරු නොදැවුනු ක්‍රීඩකයෙක් ලෙස නම්කොට තිබුණහොත් Hawkeye තාක්ෂණය මඟින් නිරූපණය කරන පරිදි පන්දුවෙන් යම් කොටසක් කඩුල්ලේ ගැටුණ ද ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සනාථ කිරීමේ හැකියාවක් තවමත් හඳුන්වා දී නොමැති වීම ගැටලුවක් බව බහුතර විචාරකයින්ගේ මතයයි.

තවත් ක්‍රිකට් පුවත්:

“Umpire’s call සම්බන්ධයෙන් හරි තීරණයක් ගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. පන්දුව කඩුල්ලේ වදිනවා කියන්නේ Bails ඉවත් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඒකට පන්දුවෙන් කොච්චර ප්‍රතිශතයක් වදිනව ද කියන එක අදාළ නැහැ. දැන් අවුරුදු 12ක ඉඳන් අපි කිසිම පදනමක් නැතුව මේ සංකල්පය හරි කියලා හිතලා පිළිගන්නවා.”

“ඇත්තටම ගත්තොත් සමහර වෙලාවට ප්‍රේක්ෂකයින්ට විතරක් නෙමෙයි ක්‍රීඩකයින්ටත් නොතේරෙන අවස්ථා තියෙනවා මේ ක්‍රමය කොහොමද වැඩ කරන්නේ කියලා. ක්‍රමයේ දුර්වලතා අඳුරගෙන තියෙනවා නම් ඒවට පිළියමක් යොදන්න තවත් කල්ගත කරන එකේ තේරුමක් නැහැ. මම හිතන්නේ ICC එකෙන් මේ ගැන නැවත වතාවක් සලකා බලලා හරිහමන් තීරණයක් ගත යුතුයි.” 

මෙලෙස මතභේදයට තුඩුදුන් Umpires Call පිළිබඳ මාතෘකාව මීට ඉහත අවස්ථාවන් කිහිපයක දී ම නොයෙක් පාර්ශවයන්ගේ අවධානයට ලක්වූව ද තවමත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයකට එළඹීමට ක්‍රිකට් නීති සම්පාදකයින් එතරම් උනන්දුවක් බවක් පෙනෙන්ට නොමැත. කෙසේ නමුත් මේ දිනවල ක්‍රියාත්මක වන Border-Gavaskar ඉන්දු-ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය අතරතුර දී ලබා දුන් ඇතැම් විනිසුරු තීරණ නිසාවෙන් නැවතත් මෙම ගැටලුව පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී තිබෙන්නේ Sachin Tendulkar වැනි ප්‍රබලයින්ගේ ද අවධානය මේ දෙසට යොමු කරමිනි.

“මට නම් DRS ගැන කිසිම පැහැදීමක් නැහැ. අපි තෙවැනි විනිසුරුවරයෙක්ගේ සහය පතන්නේ පිටියෙ ලබා දුන්න තීරණය ගැන සෑහීමකට පත්වෙන්න බැරි නිසානේ. ඉතින් මේ ක්‍රමයෙදි අවසානයට වෙන්නේ අපි අභියෝගයට ලක් කරපු තීරණය නිවැරදි වෙන එක විතරයි. බෝලෙ කඩුල්ලේ වදිනව නම් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක්. ඒකට පන්දුවේ  කොච්චර ප්‍රතිශතයක් ද කඩුල්ලේ ගැටෙන්නේ කියලා අදාළ කරගත යුතු නැහැ.”

“මම දන්නවා Tracking System එක උනත් 100% සාර්ථක නැහැ කියලා. නමුත් ඔය කාට හරි කියන්න පුළුවන් ද හරියටම කිසිම අතපසුවීමක් නොකර තීරණ ලබා දුන්න විනිසුරුවරයෙක්ව? ඇත්තටම මේ ක්‍රමයෙන් ලොකුම අසාධාරණය වෙන්නේ පන්දු යවන්නට” යනුවෙන් Tendulkar ප්‍රකාශ කර සිටියේ වහාම DRS ක්‍රමයේ ඇතැම් සංශෝධනයන් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<