දකුණු අප්‍රිකාවට අභියෝග කළ අපේ රග්බි වීරයෝ

203

මීට වසර 27කට පෙර එනම් 1993 වසරේ සිංගප්පූරු ක්‍රිකට් සමාජය මෙහෙයවූ සත් සාමාජික රග්බි තරගාවලියක් එරට පදන්ග් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ද එක්ව සිටියහ. 

එම තරගාවලියේ දෙවැනි හා අවසාන දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම තරග වැදීමට නියමිතව තිබුණේ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් සමඟිනි. වසර ගණනක ජාත්‍යන්තර තරග විරාමයකින් අනතුරුව තම ජාත්‍යන්තර ආගමනය සටහන් කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම තරගාවලියට එක් කළේ තියුණු බවක්.

ඇමරිකානු රග්බි බංකොලොත් වෙයි?

මේ දිනවල ගෝලීය වසංගතයක් ලෙස පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වයිරසය නිසාවෙන් ලොව පුරා ක්‍රීඩා තරග….

දකුණු අප්‍රිකානු පිලේ යෝධ ක්‍රීඩකයන් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් ප්‍රබල බවක් පෙනෙන්නට තිබුණේ නැත. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම එවකට මෙම කලාපයේ ප්‍රබල කණ්ඩායමක් ලෙස නම් දරා සිටියේ සුවිශේෂී ක්‍රීඩකයන් කීපයක් නිසාවෙනි. 

එවකට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නායක හිශාබ් ආබ්දීන්, සමන් පුෂ්පලාල්, සුදත් සම්පත් මෙන්ම ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක හෙවත් බණ්ඩේ ජාත්‍යන්තර තුල ඉහල නමක් දරා සිටි ක්‍රීඩකයන් වූහ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ ආරම්භය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක නොවූ අතර දකුණු අප්‍රිකාව පිට පිටම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා සීමා ඉරේ දී දකුණු අප්‍රිකාවෙන් පන්දුව සොරා ගත් හිශාම් ආබ්දීන් පන්දුව මීටර කීපයක් ඉදිරියට ගෙන එමින් එවකට ශ්‍රී ලංකාවේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස නම් දරා තිබූ ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක හට පන්දුව බාර කළේය. 

වේගවත් ධාවනයක් සමඟින් පන්දුව ඉදිරියට ගෙන ආ බණ්ඩාරනායක දකුණු අප්‍රිකානු ඉදිරිපෙළ පසුකර යාමට තම පාපන්දු හැකියාවන් උපයෝගී කරගනිමින් පා පහරක් එල්ල කළේය. දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් අසරණ කරමින් පන්දුව පසුපස හඹා යාම ආරම්භ කළ බණ්ඩාරනායක ශ්‍රී ලංකා සීමා ඉර ආසන්නයේ දී එය සමන් පුෂ්පලාල් වෙත බාර කළේ පන්දුව සීමා ඉර පසුකර පතිතකරවීමටය. 

ඒ අවසරයෙන් තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූයේ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් නැගූ “ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා..” යැයි ක්‍රීඩාංගණය දෙදරවන ඝෝෂාවන් හමුවේය. 

එවකට රග්බි දැවැන්තයන් වූ දකුණු අප්‍රිකාව මොහොතකට වික්ෂිප්ත කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්ව සිටියහ. ශ්‍රී ලංකා කණ්ඩායම සුළු ලකුණු පරතරයකින් එම තරගය පරාජය වුවද තරගය පුරා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසය සියලු දෙනාගේම ප්‍රසංසාවට ලක්විය. ශ්‍රී ලංකා රග්බි නාමය ජාත්‍යන්තරය තුල සටහන් වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස එම අවස්ථාව ඉතිහාසය තුල සටහන් විය. 

එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ හිශාම් ආබ්දීන් පිළිබඳව ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාලෝලීන්ට අමතක වීමේ හැකියාවක් නොමැත. 1980 වසරේ ඉසිපතන විද්‍යාලය නියෝජනය කරමින් ජාතික කණ්ඩායමට පිවිසෙන ඔහු පාසල් තරගාවලිය තුල උත්සාහක දිනුම් 25ක් තම නම ඉදිරියේ සටහන් කරගෙන සිටියේය. 1984 වසරේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නායකත්වය ලබා දෙන හිශාම් මෙරට රග්බි ක්‍රීඩාවේ අමරණීය අවස්ථාවක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යාමට සමත් විය. ඒ එම වසරේ හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ බඳුන ශූරතාවය දිනා ගනිමිනි. 

කොරෝනා පරද්දන්න රග්බි වීරවරියන් රෝහල‍ට

ඇමරිකානු කාන්තා ඊගල්ස් රග්බි ක්‍රීඩිකා ටෙස් ෆියුරි ‍ඇතුළු ලෝක රග්බි පවුලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් COVID-19 වසංගතය…..

එම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම බෲනායි, පැපුවා නිව් ගිනියා හා තායිලන්ත කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය. 

හිශාම් ආබ්දීන් සමත්කම් දැක්වූයේ රග්බි ක්‍රීඩාවට පමණක් නොවේ. ඉසිපතන විද්‍යාලයේ ප්‍රබල වේගපන්දු ‍යවන්නෙකු වූ ඔහු පසු කලෙක කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ද නියෝජනය කිරීමට සමත් විය. පාපන්දු ක්‍රීඩාවට ද දක්ෂයෙකු වූ ඔහු පසුව ජාවාලේන් කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු දස්කම් දැක්වීය. ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කළ හිශාම් ශ්‍රී ලංකා පාපන්දු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට ද සමත් වීම විශේෂත්වයකි. 

ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක මහනුවර ධර්මරාජ විද්‍යාලය නියෝජනය කරමින් රග්බි ක්‍රීඩාවට අත්පොත් තැබූ ක්‍රීඩකයෙකි. මෙරට රග්බි ක්‍රීඩාවේ ප්‍රබලතම වින්ග් ක්‍රීඩකයා ලෙස ඔහු හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. 

පාසල් සමය තුල මලල ක්‍රීඩාව, පාපන්දු, රග්බි හා ක්‍රිකට් ක්‍රීඩාවට ද එකසේ දස්කම් දැක්වූ ඔහු පාසල් සමය අවසන් වූ වසරේ දී ම මහනුවර ක්‍රීඩා සමාජයට එක්වන්නේ රග්බි ක්‍රීඩාව ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව වූ නිසාවෙනි. 

පසුගිය දා ThePapare.com විසින් All Time Sri Lanka XV ලෙස එදා මෙදාතුර ප්‍රබලම ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරන ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් මෙන්ම වර්තමාන හා හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියේය. ඉන්ද්‍රජිත් බණ්ඩාරනායකගේ ප්‍රබලත්වය කෙසේදයත් එලෙස නම් කළ ශ්‍රී ලංකා සංචිතවලින් ඔහුගේ නම සඳහන් නොවූයේ ඉතා අතලොස්සක පමණි.

මූලාශ්‍රය – 08/05/1994 – සිළුමිණ 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<