ඉන්දීය ආරම්භක පිතිකරුට දඩයක්!

284

ඉන්දීය ආරම්භක පිතිකරු KL Rahul හට සිය තරග ගාස්තුවෙන් 15%ක දඩයක් පනවා තිබෙනවා. ඒ ඉන්දියාව හා එංගලන්තය අතර පැවති සිව්වැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ ඔහු දැවී යාමෙන් අනතුරුව විනිසුරුවන් වෙත සිය අප්‍රසාදය පළ කිරීම නිසයි.

ඉන්දීය දෙවැනි ඉනිමේ 34 වැනි පන්දුවාරයේ දී මෙම සිදුවීම සිදු වුනා. James Anderson එවූ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් Rahul ලකුණු 46කට දැවී ගියා. මුලදී පිටියේ විනිසුරුවන් එය දැවී යාමක් ලෙස නොසැලකු අතර එංගලන්තය විනිසුරු තීරණ නැවත විමසීමේ (DRS) අවස්ථාවක් ලබා ගත්තා. 

එහි දී තෙවැනි විනිසුරු Rahul දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස සටහන් කළා. කෙසේ වෙතත් එම තීරණයට Rahul සිය අප්‍රසාදය පළ කළේ පන්දුව පිත්තේ නොව පිත්ත පා ආවරණයේ වැදුණු බව පවසමින්.

ICC චර්යාධර්ම පද්ධතියේ 2.8 වගන්තිය වන, “ජාත්‍යන්තර තරගයක දී විනිසුරුගේ තීරණයන්ට විරුද්ධව අප්‍රසාදය පළ කිරීම” යටතේ Rahulට දඬුවම් පනවා තිබෙනවා. විනය විරෝධී කටයුතුවලට හිමිවන demerit ලකුණක් ද ඔහුගේ විනය වාර්තාවට එකතු කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ පිටියේ විනිසුරුවන් වන Alex Wharf හා Richard Illingworth, තෙවැනි විනිසුරු Michael Gough හා තරග තීරක Chris Broad විසිනුයි. Rahul එම චෝදනා පිළිගත් බැවින් ඔහුට විරුද්ධව නිල නඩු විභාගයක් පැවැත්වෙන්නේ නැහැ.

ඉන්දු – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ සිව්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (6). තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායමට ලකුණු 291ක් අවශ්‍ය අතර ඔවුන් සතුව කඩුලු 10ක් තිබෙනවා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<