ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය නම් කරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1249

ඔක්තෝබර් 17 වැනිදා ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය අද (06) මාධ්‍ය වෙත නිවේදනය කළා.

ලෝක කුසලානය සඳහා සහභාගී වන සුපිරි කණ්ඩායම් 12 අතරට පිවිසි පාකිස්තානය ඔක්තෝබර් 24 වැනිදා ඉන්දියාව සමඟ තීරණාත්මක තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි. පාකිස්තානය දැනට සිටින කාණ්ඩයේ සෙසු සාමාජිකයින් වන්නේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවයි.

Babar Azam කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිත අතර කණ්ඩායමේ උපනායකයා ලෙසින් Mohammad Rizwan කටයුතු කරනු ඇත. Imad Wasim, Hasan Ali, Shaheen Afridi සහ Mohammad Hafeez යන ක්‍රීඩකයින් ද ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් වෙන්කරගෙන තිබෙනවා. 

අතිරේක ක්‍රීඩකයින් තිදෙනා අතරට ආරම්භක පිතිකරුවෙකු ඇතුළත් කර නොමැති වීම පුදුමයට කරුණක් වන අතර Fakhar Zaman ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කර තිබෙනවා.

අබුඩාබි නුවර දී පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අදියරේ දී හොඳින් දක්ෂතා දැක්වූ Sohaib Maqsood ද සංචිතයේ ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්ව තිබෙනවා. 

පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Shoaib Malik ලෝක කුසලානයට සහභාගී වන විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර නොමැති අතර ඔහු 2020 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව පාකිස්තානය වෙනුවෙන් කිසිදු විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර නැහැ. එමෙන්ම හිටපු නායකයෙකු වන Sarfaraz Ahmed ද මෙම සංචිතය සඳහා ඇතුළත්ව නැහැ. 

Fakhar Zamanට අමතරව Shahnawaz Dhani සහ Usman Qadir අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

පාකිස්තාන සත්කාරත්වය සමඟ ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත නවසීලන්ත සහ එංගලන්ත ද්විපාර්ශවික් තරගාවලිය සඳහා ද මේ නම් කළ සංචිතයම සහභාගී කරවීමට නියමිතයි. 

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සහභාගී වන පාකිස්තාන සංචිතය: Babar Azam, Shadab Khan, Asif Ali, Azam Khan, Haris Rauf, Hasan Ali, Imad Wasim, Khushdil Shah, Mohammad Hafeez, Mohammad Hasnain, Mohammad Nawaz, Mohammad Rizwan, Mohammad Wasim, Shaheen Afridi, Sohaib Maqsood.

අතිරේක ක්‍රීඩකයින්: Shahnawaz Dhani, Usman Qadir, Fakhar Zaman.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<