“ලංකාවේ පිතිකරණය කුණු ගොඩක්”

1716
Michael Vaughan

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ අසරණ වුණු ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත හිටපු නායක Michael Vaughan දෝෂාරෝපණය කර සිටිනවා. එංගලන්තයට එරෙහිව ඊයේ (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.1ක් තුළ ලකුණු 135කට සියල්ලන් දැවී ගියා. 

Twitter පණිවිඩයක් නිකුත් කරමින් Vaughan, “ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දෙන්න පුළුවන් නරකම ආදර්ශය මේක” යනුවෙන් සඳහන් කර තිබුණා. තවද ශ්‍රී ලංකා පළමු ඉනිම “සම්පූර්ණයෙන්ම කුණුගොඩක්” බව ද ඔහු සඳහන් කර තිබුණා.

Stuart Broad තරගයේ ආරම්භයේ දී ම කඩුලු දෙකක් දවා ගත් අතර පසුව Bess ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තණතීරුවේ සහය මනා ලෙස ලබා ගනිමින් කඩුලු පහක් දවා ගන්නට සමත් වුනා. 

පළමු වතාවට ආසියාවේ ක්‍රීඩා කරන Bess සිය දෙවන පන්දුවේ දී ම රිවර්ස් ස්වීප් පහරකට උත්සහ කළ කුසල් පෙරේරා දවා ගත්තා. පළමු කඩුල්ල ලෙස ලහිරු තිරිමාන්න දැවී ගියේ එංගලන්ත නායක Joe Rootගේ දක්ෂ පන්දු රකින්නන් ස්ථානගත කිරීමක් නිසයි.  

තවත් ක්‍රිකට් පුවත්:

Broad ගේ පන්දුවකට ලෙග් ස්ලිප් ක්‍රීඩකයා අතට උඩ පන්දුවක් ලබා දෙමින් තිරිමාන්න දැවී ගිය අතර ඊට පන්දු දෙකකට පසුව කුසල් මෙන්ඩිස් අඛණ්ඩව සිව්වැනි වතාවටත් ලකුණු නොලබා පිටියෙන් ඉවත් වුනා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන චන්දිමාල් හා ඇන්ජෙලෝ මැතිව්ස් සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 56ක සබඳතාවයක් ගොඩ නැගුවත් දිවා ආහාර විවේකයට පසුව ඔවුන් දෙදෙනා ද දැවී ගියේ ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අර්බුදයකට ඇද දමමින්.

මැතිව්ස් මේ තරගයේ දී ලකුණු 6000 සීමාව පසු කර ගිය පස්වැනි ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත් වන්නට සමත් වුනා. 

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 127ක් රැස් කරගෙන සිටියා. Joe Root හා Jonny Bairstow පිළිවෙළින් ලකුණු 66ක් හා 47ක් බැගින් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.  

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<