පිට පිටම දෙවැනි වරටත් ප්‍රංශය ලෝක කුසලාන අවසන් මහා තරගයකට!

FIFA World Cup 2022

933

මෙවර පාපන්දු ලෝක කුසලානය කෙමෙන් කෙමෙන් අවසානය කරා ළඟා වෙමින් පවතිනවා. ඒ අනුව අද (15) උදෑසන පැවැත්වුණු තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් මොරොක්කෝව පරදා ගෝල 2-0ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ප්‍රංශය  සමත් වුනා.

මෙතෙක් තරගාවලියේ කිසිදු ප්‍රතිවාදී කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදුන් Yassine Bounou ප්‍රමුඛ මොරොක්කෝ ආරක්ෂක වලල්ල ප්‍රංශය විසින් තරගය ආරම්භ වී විනාඩි හයක් ගත වීමටත් පෙර බිඳ දැමීමට සමත් වුනා.

ඒ අනුව ප්‍රංශ ක්‍රීඩක Theo Hernández විසින් තරගයේ ආරම්භක ගෝලය තරගයේ පස්වැනි මිනිත්තුවේ දී වාර්තා කිරීමට සමත් වුනා.

එතැන් සිට මෙතෙක් තරගාවලියේ මොරොක්කෝව ක්‍රීඩා කළ ආරක්ෂාකාරී පිළිවෙතින් බැහැරව ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදු වුනා.

ඒ අතර තවදුරටත් සිය පාදයේ ආබාධය සමඟ ක්‍රීඩා කිරීමට නොහැකි වූ මොරොක්කෝ කණ්ඩායමේ නායක Romain Saissට 21 වැනි මිනිත්තුවේ දී ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ද සිදු වුනා.

ප්‍රංශය විසින් තවදුරටත් තරගයේ වාසි වැඩි කර ගැනීමට තවත් කිහිප වරක්ම ගෝල ලබා ගැනීම් වෙනුවෙන් උත්සාහ කළ අතර, එයින් Olivier Giroudගේ උත්සාහයන් වැඩි වශයෙන් කැපී පෙනුණා. නමුත් ඒවා සියල්ල ව්‍යර්ථ කිරීමට මොරොක්කෝ ආරක්ෂක පෙළ සමත් වුනා.

තරගයේ 45+1 මිනිත්තුවේ දී මොරොක්කෝව වෙනුවෙන් ක්‍රියාත්මක වූ Jawad El Yamiq ගෝලයක් ලබා ගැනීමට ඉතා ආසන්න අවස්ථාවක් ලබා ගත්තත්, එයත් මොරොක්කෝවේ අවාසනාවකට මෙන් ව්‍යර්ථ වුනා.

තරගයේ ප්‍රථම අර්ධය අවසන් වන විට ප්‍රංශය ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් පසු වූ අතර, මොරොක්කෝව ද නැවත ලකුණු තත්වය සම කර ගැනීමට ඉතා ආසන්න උත්සාහයන් කිහිපයක් ම දැරීම කැපී පෙනුණා.

තරගයේ දෙවැනි අර්ධය ආරම්භ වීමෙන් පසුවත් මොරොක්කෝව විසින් අවස්ථා කිහිපයක දී ම ප්‍රංශය ආක්‍රමණය කිරීමට උත්සාහ ගත්තත්, ඒවා කිසිම අවස්ථාවක සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ.

මේ අතර ප්‍රංශය වෙනුවෙන් තරගයේ වාර්තා වූ දෙවැනි ගෝලය ලබා ගැනීමට Randal Kolo Muani සමත් වන්නේ 78 වැනි මිනිත්තුවේ දීයි. ඔහු එම ගෝලය ලබා ගැනීමට තත්පර 44කට පෙර පිටියට ආදේශ වන්නේ එතෙක් වෙලා පිටියේ රැඳී සිටි Ousmane Dembélé වෙනුවටයි.

නමුත් එම ගෝලයේ වැඩි ගෞරවය Kylian Mbappéට හිමි විය යුතු බවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

තරගයේ අවසාන මිනිත්තු කිහිපයේ පවා ගෝලයක් රැස් කිරීමට මොරොක්කෝ ක්‍රීඩකයින් දැඩි උත්සාහයක නිරත වූ අතර, බොහෝ අවස්ථාවල දී ඒවා ප්‍රංශ දැල අසලට ම ගොස් ව්‍යර්ථ වුනා.

එම නිසා තරගයේ නියමිත කාලය අවසන් වන විට ප්‍රංශය මොරොක්කෝවට එරෙහිව ගෝල 2-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත් වූ අතර ඒ අනුව ලබන ඉරිදා (18) ආජන්ටිනාවට එරෙහිව ප්‍රංශය මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇත.

එමෙන්ම මෙතෙක් තරගාවලිය පුරා වඩාත් ම අනපේක්ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ මොරොක්කෝව තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා ලබන සෙනසුරාදා (17) ක්‍රොඑ්ෂියාව හමුවේ තරග වදිනු ඇත.

අවසන් ලකුණු තත්වය: ප්‍රංශය 2 – 0 මොරොක්කෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයින් :

  • Theo Hernández 5´
  • Randal Kolo Muani 79´

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<