යූනියන් බැංකුව හා WNS Global ජයග්‍රාහකයින් අතරට

887

වෙළඳසේවා ලීග් පාපන්දු තරගාවලියේ 4 වන සතියට අදාළව පැවති “E” කාණ්ඩයේ තරග ද්විත්වයක් ඊයේ (17) කොළඹ සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ දී පැවැත්විය.

යූනියන් බැංකු කණ්ඩායම හා DFCC බැංකු කණ්ඩායම

මෙම තරගයෙන් ගෝල 2- 0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ යූනියන් බැංකු කණ්ඩායමයි.

DFCC කණ්ඩායමේ ජීනෝ ලෝරන්ස්ගේ (10) පා පහරින් තරගය ආරම්භ වූ අතර මිනිත්තු කිහිපයක් යන්නට මත්තෙන් එම කණ්ඩායමේම ආර්. ආර්. ජෙනින් (02) විසින් සුපරික්ෂාකරී ලෙස පී. ආර්.එම්. ප්‍රනාන්දු (16) වෙත යොමු කළත් පන්දුව සාර්ථකව ‍ගෝල රාමුව තුළට යොමු කිරීමට නොහැකි විය.

පළමු අර්ධයේ විනාඩි 15ක් පමණ ගත වන විට යූනියන් කණ්ඩායමේ සමිත් මොරෙයස් (18) විසින් සාර්ථකව ගෝලයක් වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. වැඩි වේලාවක් යන්නට මත්තෙන් නැවතත් ක්‍රියාත්මක වූ සමිත්, පිටිය මැද සිට යොමු කළ පන්දුව ශ්‍රියේන් පියුස් ක්‍රීඩකයා විසින් ලබා ගෙන ගෝල රාමුව තුළට යොමු කළේ තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව දෙගුණ කරමිනි.

එ් සමඟින් DFCC කණ්ඩායමට පහසුවෙන් ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් උදා වුවත්, එය සාර්ථක කර ගැනීමට පී. ආනන්ද කුමාර (13) හට නොහැකි විය.

පළමු අර්ධය: යූනියන් බැංකු කණ්ඩායම 2 – 00 DFCC බැංකු කණ්ඩායම

දෙවන අර්ධය ආරම්භයේදීම DFCC ක්‍රීඩක පී. ආර්. එම්. ප්‍රනාන්දු (16) හට ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව උදා වුවත්, ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් එය සාර්ථකව වළක්වන ලදි. ඉන් පසු ඔවුන්ට නිදහස් පහරක් හිමි වුවත්, එය ද අසාර්ථක විය.

විශේෂයෙන්ම දෙපිලටම මෙම අර්ධයේ දී පැති පහර අවස්ථා හිමි වුවත්, ඒවා කිසිවක් සාර්ථක කර ගැනීමට අවස්ථාවක් උදා නොවුණි.

යූනියන් බැංකු කණ්ඩායමේ සමිත් (18) විසින් සාර්ථක ලෙස යොමු කළ පන්දුව එස්. මුණසිංහගෙන් (17) අසාර්ථක වූ අතර පහසුවෙන් ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් ඔවුන්ට මඟහැරී ගියේය.

ඒ අනුව තරගය අවසන් වීමට මොහොතකට පෙර යූනියන් බැංකු කණ්ඩායමට තවත් ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථාවක් DFCC ක්‍රීඩක අශාන් එම්. සිල්වා (05) විසින් වැළැක්වුව ද තරගයේ ජය යූනියන් බැංකු කණ්ඩායම හිමි කරගත්තේය. විශේෂයෙන්ම මෙම අර්ධයේ දී කණ්ඩායම් දෙකටම ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් උදා නොවීය.

සම්පූර්ණ ලකුණු: යූනියන් බැංකු කණ්ඩායම 2 – 00 DFCC බැංකු කණ්ඩායම


WNS Global කණ්ඩායම සහ ස්ටෑන්ඩට් චාර්ටඩ් බැංකු කණ්ඩායම

WNS Global ක්‍රීඩක ඒ. එම්. ආර් කලීඩ් (7) විසින් තරගය ආරම්භ කළ අතර විනාඩි 5කින් පමණ පසු ස්ටෑන්ඩට් චාර්ටඩ් කණ්ඩායම වෙත පැති පහර අවස්ථාවක් හිමි විය. එය අසාර්ථක කර ගත් ඔවුන් හට ප්‍රතිවාදීන්ගෙන් සිදු වූ සුළු වරදක් හේතුවෙන් නිදහස් පහරක් සඳහා ද අවස්ථාව උදා විය. එය ද අසාර්ථක විය.

පළමු අර්ධයේ වැඩි වේලාවක් දෙපිලම පන්දුව දෙපසට හුවමාරු කර ගනිමින් සිටි අතර WNS Global කණ්ඩායමේ තවුෂිෆ් තාරික් (17) පන්දුව තමන් සතු කර ගනිමින් ප්‍රතිවාදීන් අතරින් පන්දුව හසුරුවමින් ගෝල රාමුව වෙත රැගෙන ගියත් එය සාර්ථක නොවීය. ඉන් පසු හිමි වූ පැති පහර අවස්ථාව ද අසාර්ථකයි.

නැවතත් ක්‍රියාත්මක වූ තවුෂිෆ් හට ලැබුණු දෙවන අවස්ථාවේදීත් පන්දුව කෙසේ හෝ ගෝල රාමුව තුළට යොමු කරන බලාපොරොත්තුවෙන් රැගෙන ගිය ද, එවරත් එය ප්‍රතිවාදී ගෝල රකින්නා විසින් සාර්ථකව වැළැක්විය.

ඒ අනුව පළමු අර්ධයේ දී පන්දුව වැඩි වේලාවක් ස්ටෑන්ඩට් චාර්ටඩ් අන්තයේ රඳවා ගැනීමට WNS Global ක්‍රීඩකයින් සමත් වූ අතර පළමු අර්ධයේ දී දෙපිලටම ලකුණු ලබා ගැනීමට නොහැකි විය.

පළමු අර්ධය: WNS Global කණ්ඩායම 00 – 00 ස්ටෑන්ඩට් චාර්ටඩ් කණ්ඩායම

දෙවන අර්ධයේ දී WNS Global ක්‍රීඩක සජ්ජාඩ් ආතික් (14) පිටියේ වම් අන්තයෙන් හරීන් ජූඩ් (21) වෙත යොමු කළ පන්දුව මනාව ගෝල රාමුව තුළට පිවිසියේ තරගයේ මෙතෙක් ක්‍රියාත්මක නොවූ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි.

ඩිලාන් ජයවර්ධන (06) කණ්ඩායමේ ලකුණු තත්වය ඉහළ දැමීමේ අරමුණින් පිටියේ දකුණු අන්තයේ සිට මීටර් 20ක් පමණ දුරකින් එල්ල කළ පා පහර හේතුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු වූයේ නරඹන්නන් විශ්මයට පත් කරමිනි. ඒත් සමඟම WNS Global කණ්ඩායමේ ලකුණු තත්වය දෙකක් දක්වා වැඩි විය.

ස්ටෑන්ඩට් චාර්ටඩ් ක්‍රීඩකයින්ගෙන් සජ්ජාඩ් ආතික් (14) නැවත වරක් ලබා ගත් පන්දුව තවුෂිෆ් තාරික් (17) හට යොමු කළ අතර ඔහු විසින් එය සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කළේය.

කෙසේ නමුත් තරගය අවසන් වීමට විනාඩි 5කට පමණ පෙර WNS Global ක්‍රීඩක හෙන්රි සංධනාම් (10) පිටියේ දකුණු අන්තයෙන් ගෝල රාමුව වෙත යොමු කළ පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ පාදයේ වැදී නිසි ලෙස ගෝල රාමුව තුළට යොමු වූයේ WNS Global කණ්ඩායම ඉදිරියේ තවත් ලකුණක් සටහන් කරමිනි.

සම්පූර්ණ ලකුණු: WNS Global කණ්ඩායම 04 -00 ස්ටෑන්ඩට් චාර්ටඩ් කණ්ඩායම

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට