දිවයිනේ පැරණිතම පාසල් හොකී තරගාවලියක් වන ආනන්ද – නාලන්ද මහා හොකී සංග්‍රාමයේ 17 වන අදියර එළඹෙන ඔක්තෝබර් 27 වැනිදා පැවැත්වීමට නියමිතයි. පසුගිය වසර හය පුරා අඛණ්ඩව සය වතාවක් ශූරතාවය දිනා සිටින නාලන්දා ක්‍රීඩකයෝ සත්වැනි වසරටත් නාලන්දා හොකී බලය ආනන්ද – නාලන්ද හොකී පිටියේ විදහා දක්වන්නට සූදානමින් සිටියි.

තරගාවලියේ අතීතය

1990 වසරේ ආරම්භ වූ ආනන්ද – නාලන්ද මහා හොකී තරගය ශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් මහා හොකී තරගය ලෙස සඳහන් වේ. එවකට ආනන්ද කණ්ඩායමේ නායකයා වූ තුෂාර ජයසිංහ හා නාලන්දා කණ්ඩායමේ නායක දිනේෂ් වික්‍රමසිංහ යන ක්‍රීඩකයන්ගේ නායකත්වය යටතේ පළමු ආනන්ද – නාලන්ද හොකී තරගය පැවැත්විය. එහි ජයග්‍රහණය හිමිකර ගැනීමට නාලන්දා විදුහල සමත් විය. වසර කිහිපයක් තරගාවලියට බාධා එල්ල වුනත් 17 වන වසරටත් මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.

තරගාවලියේ වැඩි ගෞරව දිනා ගැනීමට සමත් වී ඇත්තේ නාලන්දා විද්‍යාලය වීම විශේෂත්වයකි. ඔවුන් අවස්ථා 11ක දී ජයග්‍රහණය හිමිකර ගනිද්දී ආනන්ද ක්‍රීඩකයෝ 4 වතාවක් ජය හිමිකර ගැනීමට සමත් වී ඇත. එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

කොළඹ නාලන්දා විද්‍යාල හොකී කණ්ඩායම 1990, 1992, 1996,1997,1998, 2000, 2001 හා 2004 වර්ෂවල දී පැවැත්වූ සුලෝහිත හොකී තරග ජයග්‍රහණය කර ඇති අතර ආනන්ද විද්‍යාල කණ්ඩායම 1993, 1994, 1995 හා 1999 වර්ෂවල දී මෙම තරගය ජයගෙන ඇත. තරගාවලිය 2004න් පසුව 2015 දී නැවත ආරම්භ වූ අතර 2015, 2016, 2017 වසරවල ජයග්‍රහණය හිමිකර ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ.

පසුගිය වසර

පසුගිය වසරේ දී තරගය ගෝල 1-1ක් ලෙස සම වීමත් සමඟ දඬුවම් පහර මගින් නාලන්දා විද්‍යාලය තරගය ජය ගැනීමට සමත් විය. ඔවුන් පසුගිය වසරේ මහා හොකී තරගය ජය ගත්තේ අඛණ්ඩව සයවැනි වරට වීමේ විශේෂත්වයකි.

මෙවර කණ්ඩායම

ශ්‍රී ලංකා හොකී කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු වන චාමික ලැනරෝල් මහතාගේ මෙහෙයවීමෙන් නාලන්දා කණ්ඩායම මෙවර තරගාවලියට පිවිසෙනු ඇත.

රවිඳු පැහැසර කණ්ඩායමේ නායකත්වය දරන අතර ‘Center Forward’ ස්ථානයේ ක්‍රීඩා කරන ඔහුගේ සේවය සිව්වැනි වසරටත් කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

“මේ අවුරුද්දේ හොඳ කණ්ඩායමක් ඉන්නවා, බොහොම පළපුරුදු ක්‍රීඩකයෝ ඉන්නවා, ආනන්දයට හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, ආදී නාලන්දීය හොකී සංගමයෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා, පාසලෙනුත් හොඳ සහයක් තිබෙනවා, අපගේ පුහුණුකරු, ජාතික හොකී කණ්ඩායමේ සහය පුහුණුකරු ඔහුගෙනුත් අපට ඉතා හොඳ සහයක් හා මෙහෙයවීමක් ලැබෙනවා.” යැයි කණ්ඩායම් නායක රවිඳු පැහැසර ThePapare.com හමුවේ අදහස් පල කළේය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම අත්දැකීම් හා දක්ෂතාවයෙන් කණ්ඩායම සවිමත් වන අතර ඉන්දීර බණ්ඩාර ඉන් ප්‍රමුඛයි. සිව්වැනි වසර ක්‍රීඩකයෙකු වන ඔහුගේ අත්දැකීම් ‘Center Half’ ස්ථානයේ කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත. හේමාල් කෙහෙලිය ද සිව්වැනි වසර සඳහා කණ්ඩායම සවිමත් කරන අතර එශාන් ධනුජය ද ‘Center Back’ ස්ථානයේ ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇත. හේලිත පතිරණ ද ‘Right Half’ ස්ථානයේ කණ්ඩායම සවිමත් කරද්දී, නවක ක්‍රීඩකයින් හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සමගින් ස්ථාවර මෙන්ම වේගවත් කණ්ඩායමක් මෙවර මහා හොකී තරග පිවියට පිවිසෙනු ඇත.

“පිට පිට වසර හයක් අපි තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා, අපි ජයග්‍රහණය කළත් අපිට ඒ සෑම අවස්ථාවක දී ම ප්‍රබල ආනන්ද විද්‍යාලය අපිට හොඳ තරගයක් ලබා දුන්නා.” පුහුණුකරු ලැනරෝල් මහතා ThePapare.com වෙත අදහස් දක්වා සිටියා.

කණ්ඩායමේ සංයුතිය පිළිබඳව ද අදහස් දක්වා සිටි ඔහු ප්‍රකාශ කර සිටියේ ප්‍රධානතම ක්‍රීඩකයෙකු ඔවුන්ට අහිමි වුනත් අනෙක් ප්‍රධාන ක්‍රීඩකයින් සමඟින් ඔවුන් හොඳ තරගයක් සඳහා සූදානම් බවයි.

“මේ වසරේදීත් ජය ගන්න තමයි බලාපොරොත්තුව, අපගේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ ජීවන්ත ප්‍රසන්න මෙවර තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ ඔහු විදේශගත වෙලා ඉන්නේ, අපිට පොඩි අඩු පාඩුවක් තිබුණු නමුත් ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් ඉන්නවා, ඔවුන් සමඟ හොඳ තරගයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.”   

අවසන් වදන

කොළඹ නාලන්දා විද්‍යාලය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ ක්‍රීඩකයින්ගේ සැදුම්ලත් ප්‍රබල කණ්ඩායමක් මෙවර තරගාවලියට ඉදිරිපත් කරනු ඇත. අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඔවුන්ගේ ප්‍රධානතම අවිය වන අතර පසුගිය වසරවල සුන්දර මතක සමඟින් නාලන්දා ක්‍රීඩකයෝ ආනන්ද ක්‍රීඩකයින්ට ප්‍රබල සටනක් ලබා දෙනු ඇත.

17 වන ආනන්ද නාලන්ද මහා හොකී සංග්‍රාමයේ සියලු තොරතුරු සහ තරගයේ සජීව විකාශය ඔක්තෝබර් 27 වැනිදා සවස ThePapare.com තුලින් ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්.   

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<