2022 IPL තරගාවලියට නව කණ්ඩායම් දෙකක්!

875
(IPLT20)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පාලක මණ්ඩලය විසින් නව IPL කණ්ඩායම් දෙකක හිමිකරුවන්ට ලංසු කැඳවා තිබෙනවා. ටෙන්ඩර් පටිපාටියක් යටතේ මෙම කණ්ඩායම් දෙකට හිමිකරුවන් තෝරාගැනීමට නියමිත අතර එම නව කණ්ඩායම් දෙක 2022 වසරේ සිට IPL තරගාවලියට එක්වීමට නියමිතයි.

“ටෙන්ඩර් පටිපාටියට සහභාගී වීම සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 10ක් ගෙවා ලියා පදිංචි විය හැකි අතර එසේ ලියාපදිංචි වීමෙන් පසුව ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක වන ආකාරය, ලංසු තබන්නන් සැපිරිය යුතු සුදුසුකම්, ඉහළම ලංසුව තෝරා ගන්නා ආකාරය පිළිබඳ “Invitation to Tender” මඟින් දැනුම් දෙනු ලැබේ”, යැයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වී තිබුණා.

එළඹෙන ඔක්තෝබර් 5 දක්වා මෙලෙස ටෙන්ඩර් පටිපාටියට සහභාගී වීම සඳහා ලියාපදිංචි විය හැකියි. Cricbuzz වාර්තා කරන අන්දමට IPL කණ්ඩායමක් සඳහා අවම ලංසුව ඉන්දීය රුපියල් කෝටි 2,000ක් පමණ වෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් Cricbuzz වෙත පවසා ඇති පරිදි මෑතක දී Rajasthan Royals කණ්ඩායමේ 15%ක කොටස් ප්‍රමාණයක් ඉන්දීය රුපියල් කෝටි 1850ක මුදලකට අලෙවි වී තිබෙනවා. Rajasthan Royals කණ්ඩායම පසුගිය වසර කිහිපයේ දී ම IPL තරගාවලියේ එතරම් දස්කම් දක්වන්නට සමත් වුනේ නැහැ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරන පරිදි නව IPL කණ්ඩායමක් ඉන්දීය රුපියල් කෝටි 3,000 ද ඉක්මවා යෑමට ඉඩ තිබෙනවා. Ahmedabad හා Lucknow නව කණ්ඩායම් දෙක සඳහා සත්කාරකත්වය දැරීමට ඉහළින්ම තිබෙන නගරයි. කණ්ඩායම් සඳහා ලංසු තැබීම 2021 IPL තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ඔක්තෝබර් 15 වැනිදාට පෙර පැවැත්වීමට ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අපේක්ෂා කරනවා.

නව කණ්ඩායම් 10යේ ආකෘතිය යටතේ කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ දෙකක් ලෙස IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

Ahmedabad හි The Adani Group සමාගම, RPSG Group සමාගමේ Sanjiv Goenka මේ නව කණ්ඩායම් දෙකට ලංසු තබන්නට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. Sanjiv Goenka 2016 හා 2017 වසරවල දී ද IPL කණ්ඩායමක් සමඟ කටයුතු කර තිබීම විශේෂත්වයක්.    

මේ අතර 2021 IPL තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බර් 19 වැනිදා එක්සත් අරාබි එමීර් හිදී ආරම්භ වීමට නියමිතයි.

Hindstan Times හා Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<