තහනමට ලක්වූ ක්‍රීඩකයන් නැවත පිටියට ඒමට සැරසෙයි

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3826

මෙම වසරේ පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුර දී කණ්ඩායමේ ජෛව ආරක්ෂක බුබුළෙන් පිටතට යාම නිසා තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල 2021 LPL තරගාවලියේ දී නැවතත් ක්‍රීඩා පිටියට පැමිණීමට නියමිතයි.

මෙම ක්‍රීඩකයන් එංගලන්ත සංචාරය අතරතුර රාත්‍රී කාලයේ Durham හි වීදියක සිටින වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම සිදුවීම පිළිබඳව විමර්ශනයක් ඇරඹුවා.

එම විමර්ශනය සිදු කරන තුරු මෙම ක්‍රීඩකයන් තිදෙනාට තරග තහනමක් පැනවීමට තීරණය කළ අතර විමර්ශන කමිටුවක් හමුවේ සිදු කළ පරීක්ෂණයෙන් පසු ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් හට අවුරුදු 2ක සහ නිරෝෂන් දික්වැල්ල හට අවුරුදු එකයි මාස හයක තහනමක් පැනවීමට එම කමිටුව නිර්දේශ කළා.

කෙසේ නමුත් එම දඬුවම් කාලය අඩු කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔවුන් තිදෙනාට වසරක ජාත්‍යන්තර තරග තහනමක් සහ මාස හයක දේශීය තරග තහනමක් පැන වූ අතර රුපියල් මිලියන 10ක දඩ මුදලක් නියම කළා.

එයට අමතරව ඔවුන්ට තවත් අවුරුද්දක ජාත්‍යන්තර තරග තහනමක් පනවා එය වසර දෙකකට අත්හිටුවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්දේශ කළ වෛද්‍යවරයෙකු යටතේ උපදේශන සැසිවලට සහභාගී වීමට ද ඔවුන්ට අනිවාර්ය කළ අතර වෛද්‍යරයාගේ නිර්දේශ මත ඔවුන්ට පැන වූ දේශීය තරග තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය (නොවැම්බර්) මාසයේ දී ඉවත් කළා.

මේ පිළිබඳව Daily Mirror පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ දඩ මුදල් ගෙවීමට යටත්ව ඔවුන්ට ආපසු පිටියට යාමට අවසර ලබාදෙන බව අමාත්‍යාංශය වෙත දැනුම් දුන් බවයි.

කෙසේ නමුත් එම ක්‍රීඩකයන් තිදෙනා පසුගිය දිනවල දී පැවැත්වුන සීමිත පන්දුවාර දේශීය තරගාවලියට සහභාගී නොවූ නමුත් දෙසැම්බර් 05 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කිරීමට සූදානමින් පසුවනවා.

එම තරගාවලියේ දී ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් Galle Gladiators විසින් තෝරාගෙන ඇති අතර නිරෝෂන් දික්වැල්ල Dambulla Giants නියෝජනය කිරීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<