දුනිත්ගේ උත්සාහය අපතේ යවමින් ජයග්‍රහණය එංගලන්තයට

එංගලන්ත 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

2131

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර අද (30) කොළඹ SSC පිටියේ දී පැවති පළමු යොවුන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදවා ලකුණු 26ක ජයක් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත ක්‍රීඩකයන්ට ආරාධනා කළා.

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – චමිඳු වික්‍රමසිංහ, අංජුල බණ්ඩාර, ශෙවෝන් ඩැනියල් පවන් පතිරාජ, රන්ඳු සෝමරත්න, රවීන් ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ (නායක), විනුජ රාන්පුල්, මල්ෂ තරුපති, ට්‍රෙවින් මැතිව්, මහීෂ පතිරණ.
  • එංගලන්ත 19න් පහළ කණ්ඩායම – George Thomas, Jacob Bethell (නායක), Tom Prest, James Rew,William Luxton, Rehan Ahmed, Alex Horton, James Sales, Josh Baker, Joshua Boyden, Benjamin Cliff.

දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමේ අරමුණින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව 31ක් වන විට ලකුණු 23ක් ලබා සිටි Jacob Bethell පිටියෙන් ඉවත් කිරීමට ට්‍රෙවින් මැතිව්ට හැකි වුනා.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 43ක සබඳතාවයක් පිහිටුවීමෙන් පසු George Thomas ලකුණු 27කට සහ Tom Prest ලකුණු 22කට පිටියෙන් ඉවත් කිරීමට පිළිවෙළින් මල්ෂ තරුපති සහ වෙල්ලාලගේට හැකි වුනේ එංගලන්තය ලකුණු පුවරුව 74/3ක් බවට පත් කරමිනුයි.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අභියෝගයක් එල්ල කරමින් William Luxton සමඟ එක්ව සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 86ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසු James Rew, රවීන් ද සිල්වාගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 40ක් රැස් කරගෙන සිටියා.

ලකුණු 44ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකාවට දැඩි හිසරදයක්ව සිටි Luxton කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගනිමින් දවා ගැනීමට ශ්‍රී ලංකා වෙල්ලාලගේට හැකි වුනේ මුළු ලකුණු සංඛ්‍යාව 172ක් වන විටයි.

එම කඩුල්ල ලබා ගැනීමෙන් ටික වෙලාවකට පසුව නැවත ක්‍රියාත්මක වූ වෙල්ලාලගේ ලකුණු 3ක් වාර්තා කරගෙන සිටි Alex Horton පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනේ ශෙවෝන් ඩැනියල් රැකගත් අගනා උඩ පන්දුව නිසයි.

නායකත්වයේ වගකීම නිවැරදිව ඉටු කරමින් සිය සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 23ක් රැස් කරගෙන සිටි Rehan Ahmed දවා ගැනීමට වෙල්ලාලගේට හැකි වුනේ එංගලන්ත ලකුණු පුවරුව 205ක් වන විටයි.

එංගලන්ත අගපෙළ පිතිකරුවන් සමඟ එක්ව James Sales නොදැවී වාර්තා කර ගත් ලකුණු 28 නිසාවෙන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 242ක්.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 30කට කඩුලු පහක් දවා ගැනීමට සමත් වූ අතර ට්‍රෙවින් මැතිව්, මතීෂ පතිරණ, මල්ෂ තරුපති සහ රවීන් ද සිල්වා අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 243ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල සඳහා ලකුණු 51ක සම්බන්ධතාවක් ගොඩනැගීමට චමිඳු වික්‍රමසිංහ සහ අංජුල බණ්ඩාර සමත් වුනා.

පන්දු 41ක් තුළ හතරේ පහර 2ක් සමඟ ලකුණු 20ක් වාර්තා කරගෙන සිටි අංජුල බණ්ඩාර පළමු කඩුල්ල ලෙස දැවී ගියේ Tom Prest යැවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි. ඉන්පසු පිටියට පිවිසියේ ශෙවෝන් ඩැනියල්.

තරගයේ 16 වැනි පන්දුවාරයේ දී නැවත ක්‍රියාත්මක වූ Tom Prest ලකුණු 35ක් රැස්කර ගනිමින් ස්ථාවර ඉනිමක් ගොඩනගමින් සිටි චමිඳු වික්‍රමසිංහ දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 60/2ක් බවට පත්කරමිනුයි.

ශ්‍රී ලංකාව තවත් අසරණ කරමින් ලකුණු 5ක් වාර්තා කරගෙන සිටි ශෙවෝන් නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට Josh Bakerට හැකි වුනේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එල්ල කරමින්. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 69ක් වන විට නැවත ක්‍රියාත්මක වූ Josh Baker, ලකුණු 5ක් රැස් කරගෙන සිටි පවන් පතිරාජ සිව්වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට සමත් වුනා.

තරගයේ වැඩි ගෞරව එංගලන්ත කණ්ඩායමට ගෙන එමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 7ක් රැස් කරගෙන සිටි උපනායක රවීන් ද සිල්වා දවා ගැනීමට Rehan Ahmed සමත් වුනා. ඉන්පසු පිටියට පිවිසුණේ නායක දුනිත් වෙල්ලාලගේයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට යම් බලාපොරොත්තුවක් ගෙන දෙමින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 102ක සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අනතුරුව ලකුණු 68ක් වාර්තා කරගෙන සිටි නායක වෙල්ලාලගේ දැවී ගියේ Jacob Bethell පන්දුවක් හමුවේයි.

ශ්‍රී ලංකා ලකුණු පුවරුව 216 වන විට ලකුණු 57ක් වාර්තා කරගෙන සිටි රන්ඳු සෝමරත්න දවා ගැනීමට Joshua Boyden සමත් වීමෙන් පසු ඉතුරු ශ්‍රී ලංකා කඩුලු තුනම එක් ලකුණක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ට හැකි වුනේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 217කට සීමා කරමිනුයි.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 26ක ජයක් ලබා ගනිමින් තරගාවලියේ පෙරමුණට පැමිණීමට එංගලන්ත ක්‍රීඩකයන්ට හැකි වුනා.

එංගලන්ත 19න් පහළ කණ්ඩායම – 242/10 (50): William Luxton 44, James Rew 40, James Sales 28, දුනිත් වෙල්ලාලගේ 5/30.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම – 217/10 (47.3): දුනිත් වෙල්ලාලගේ 68, රන්ඳු සෝමරත්න 57, Joshua Boyden 3/27, Rehan Ahmed 2/31.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<