2021 LPL සටනට නායකයින් නම් කරයි

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

8775

2021 ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නිල වශයෙන් ආරම්භ වීමට සතියකටත් අඩු කාලයක් තිබිය දී කණ්ඩායම් 5 මෙහෙය වන නායකයන් සහ එක් එක් කණ්ඩායම් හී පුහුණුකරුවන් පිළිබඳව තහවුරු කර ඇතැයි ThePapare.com අප වෙත වාර්තා වනවා.

ගියවර අදියරේ ශූරතාවය දිනා ගත් Jaffna Stallions කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක තිසර පෙරේරා හට මෙවර යාපනය කේන්ද්‍ර කර ගත් Jaffna Kings කණ්ඩායමේ ද නායකත්වය ලබා දී ඇති අතර Stallions කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ තිලිණ කණ්ඩම්බි Jaffna Kings කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

කණ්ඩම්බිට අමතරව Jaffna Kings පුහුණුකරුවන් ලෙස ජෙහාන් මුබාරක් (පිතිකරණ පුහුණුකරු), මුතුමුදලිගේ පුෂ්පකුමාර (දඟපන්දු යැවීමේ පුහුණුකරු), Mario Villavarayan (සහය පුහුණුකරු සහ වේගපන්දු යැවීමේ පුහුණුකරු), Hemang Badani (උපදේශක) ලෙස කණ්ඩායමට එක්ව ඇත.

වර්තමාන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක Dambulla Giants කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති අතර අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික Stuart Law එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඔහුට අමතර සම්පත් පෙරේරා දඹුල්ල කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතව ඇති අතර පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කෞෂල්‍යය ගජසිංහ නම් කර ඇත.

පසුගිය වසරේ අනුශූරතාවය දිනා ගත් Galle Gladiators මෙහෙයවීමේ වගකීම ප්‍රහාරාත්මක පිතිකරු බානුක රාජපක්ෂ හට හිමිවද්දී පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක Umar Gul හට ප්‍රධාන පුහුණුකාර තනතුර ලබා දී ඇත. Umar Gulගේ සහය සඳහා ඉන්දික ද සේරම් සහය පුහුණුකරු ලෙස නම් කර තිබේ.

ක්‍රීඩකයන් බෙදා වෙන්කිරීමේ දී කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගත් අත්දැකීම් බහුල ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් Colombo Stars මගින් ලබා ගැනීමෙන් පසු නායකත්වයට පත්කර ඇති අතර හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වන රුවන් කල්පගේ හට එහි ප්‍රධාන පුහුණුකාර ධූරය ලබා දී ඇත.

කණ්ඩායමේ අනෙක් පුහුණුකරුවන් ලෙස චම්පක රාමනායක (වේගපන්දු යැවීමේ පුහුණුකරු), මනෝජ් අබේවික්‍රම (පන්දු රැකීමේ පුහුණුකරු), ට්‍රේවින් මැතිව්ස් (සහය පුහුණුකරු), පියල් විජේතුංග (දඟපන්දු යැවීමේ පුහුණුකරු) ලෙස කණ්ඩායමට එක්ව ඇත.

මහනුවර නගරය කේන්ද්‍ර කර ගත් කණ්ඩායම වන Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරා හට ලබා දී ඇති අතර එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය දරන්නේ හිටපු ඉන්දීය ක්‍රීඩකයෙකු වන Lalchand Rajput විසිනුයි.

Lalchand Rajputගේ සහය සඳහා රුවීන් පීරිස් සහය පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායමට එක්ව ඇති අතර කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ද Lalchand Rajput කටයුතු කරයි.

මෙවර ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, Play-Off අදියරේ තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

ප්‍රධාන පුහුණුකරුවන්

  • Galle Gladiators – Umar Gul
  • Jaffna Kings – තිලිණ කණ්ඩම්බි
  • Colombo Stars – රුවන් කල්පගේ
  • Dambulla Giants – Stuart Law
  • Kandy Warriors – Lalchand Rajput

කණ්ඩායම් නායකයින්

  • Galle Gladiators – බානුක රාජපක්ෂ
  • Jaffna Kings – තිසර පෙරේරා
  • Colombo Stars – ඇන්ජලෝ මැතිවුස්
  • Dambulla Giants – දසුන් ශානක
  • Kandy Warriors – ඇන්ජෙලෝ පෙරේරා

Lankan Premier League 2021 තරගාවලියේ සියලූම තොරතුරු එසැණින් ඔබවෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<