පන්දු යැවීමේ රහස ගැන Mehidy Hasan හෙළිකරයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින තරගාවලිය 2021

190

ශ්‍රී ලංකාව සමඟින් පැවති පළමු එක්දින තරගය ලකුණු 33කින් ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (24) සමත් වුනා. එහි දී බංග්ලාදේශ පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වීමට Mehidy Hasan සමත් වුනේ ශ්‍රී ලංකා මුල්පෙළ කඩුලු 4ක් දවා ගනිමින්.

සිය පන්දු යැවීම සහ තරග ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Mehidy Hasan පවසා සිටියේ තමන් සුපුරුදු පන්දු යැවීමේ රටාව වෙනස් නොකළ බවත් පිතිකරුවාගේ පහර දීම හඳුනා ගෙන පන්දු යැවීම සිදු කළ බවත්ය. එය වඩාත් ඵලදායි ලෙස උපයෝගී වූ බවත් ඔහු පවසා සිටියා.

ඊයේ පැවති තරගයේ දී Mehidy Hasan සිය පන්දුවාර 10 අතරතුර ලකුණු 30කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා. ඔහු බංග්ලාදේශ පන්දු බලඇණියේ වැඩිම කඩුලු ලාභියා ද වුනා.

බංග්ලාදේශ කණ්ඩායම මෙම තරගයට පෙර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග රටාවල දී පිට පිට තරග 10ක් පරාජය වී සිටි අතර ඊයේ තරගය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ පරාජිත වාර්තාව නිමා කිරීමට සමත් වුනා. 

බංග්ලාදේශ පන්දු යැවීමේ දී Mehidy Hasan වැදගත් කාර්‍යභාරයක් ඉටු කරනු ලැබුවා. එහි දී ප්‍රවේගකාරී ඉනිමක් දියත් කළ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සිය පළමු කඩුල්ල ලෙස දවා ගැනීමට Hasan සමත් වුනා. ඉන් අනතුරුව කුසල් පෙරේරා සහ ධනංජය ද සිල්වා දවා ගැනීමට සමත් වුනේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවට මහත් අභියෝගයක් එක් කරමින්. 

ශ්‍රී ලංකා මැදපෙළ පන්දුවාර තුල ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කළ Mehidy Hasan සිය සිව්වැනි කඩුල්ල ලෙස අශේන් බණ්ඩාර ද දවා ගැනීමට සමත් වුනා. 

තවත් ක්‍රිකට් පුවත්: 

“මම උත්සාහ කළේ ලකුණු ලබා දෙන එක අඩු කරන්න. ඒ වගේම නිලකුණු පන්දු යවන්න. මම හිතුවා ඒකෙන් පිතිකරුවාට පීඩනයක් එල්ල වේවි කියලා. පිතිකරුවන් එහෙම වුනාම වැරදි කරනවා. එතකොට සාර්ථක වෙන්න ලොකු අවස්ථාවක් තියනවා” තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Mehidy Hasan පවසා සිටියා.

“මම පුහුණුවීම්වල දී අපේ පුහුණුකරුවන් එක්ක කතා කළා. ඔවුන්ගේ උපදෙස් ගත්තා. ඊට අමතරව Fahim සර් මට කතා කළා. දවස් දෙක තුනකට කලින්. ඔහු මට පන්දු යැවීමේ විවිධ අංශ ගැන ලොකු උපදෙස් ගොඩක් ලබා දුන්නා” Hasan තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග මෙම තරගයේ දී අංක 7 පිතිකරුවා ලෙස පිටියට පිවිසි අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු ඉහළ නැංවීමට සමත් වුනේ පන්දු 60ක් තුල දී වේගවත් ලකුණු 74ක් වාර්තා කරමින්. වනිඳු හසරංගගේ පිතිකරණය තම කණ්ඩායමේ බලාපොරොත්තු බිඳ දැමීමට සමත් නොවූ බව Mehidy Hasan ඔහුගේ පිතිකරණය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියා.

“හසරංග ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. ඔහුගේ පහරවල් ඉතාමත් හොඳ ඒවා. ඒත් අපි හැමෝම දැනගෙන හිටියා ඔහුගේ කඩුල්ල ලබා ගන්න පුළුවන් වුනොත් අපිට ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියනවා කියලා. හසරංග සහ උදානට පස්සේ ඔවුන්ගේ පිතිකරුවන් හිටියේ නැහැ ඉතින් අපි සැලසුම් කළේ ඔවුන් දෙදෙනා දවා ගන්න. අපි දැනගෙන හිටියා ඔහුව ඉක්මනින් දවාගත්තොත් අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා.” 

බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා ගත් අතර පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තා. ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 257ක් වාර්තා කිරීමට සමත් වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Mushfiqur Rahim ලකුණු 84ක් රැස්කිරීමට සමත් වුනා.

ලකුණු 258ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 224කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා.

එම ජයග්‍රහණයත් සමඟින් තරග තුනකින් යුත් එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුනා. ඊයේ තරගය Shere Bangla ක්‍රීඩාංගණයේ දී පැවති අතර දෙවැනි තරගය හෙට (25) එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<