පොලිස් පිටියට ආ යුධ සෙබළු හිස් අතින් ගෙදර යයි

905

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සයවැනි සති අන්තයේ තවත් තරගයක් අද (15) කොළඹ පොලිස් පාක් පිටියේ දී පොලිස් ක්‍රීඩා සමාජය හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අතර පැවැත්වුණු අතර ලකුණු 41-19ක් ලෙස තරගය ජය ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.

CR&FC කණ්ඩායමට ගුවන් හමුදාවෙන් ප්‍රබල තරගයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් තරගයක් ලෙස….

පළමු අර්ධයේ දී සම්පූර්ණයෙන්ම තරගය තමන්ගේ දෙසට හරවා ගත් පොලිස් ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී ද යුධ හමුදා ක්‍රීඩකයින්ට හිස එසවීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.

තරගය ආරම්භයත් සමඟම පොලිස් ක්‍රීඩා සමාජයට හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගත් සචිත් සිල්වා පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු රැස් කරන්නට සමත් විය. අනතුරුව 8 වන මිනිත්තුවේ දී පොලිස් ක්‍රීඩකයින් සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළේ යුධ හමුදාව පළමු මිනිත්තු 10 ඇතුළත පසු පාදයට ඇද දමමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සචිත් සමත් වූයේ නැත. (පොලිස් 08-00 යුධ)

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු පොලිස් ක්‍රීඩකයින් වෙනුවෙන් 26 වන මිනිත්තුවේ දී රසිත් සිල්වා දක්ෂ උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර සචිත් හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද හැකියාවක් ලැබුණේ නැත. දිගින් දිගටම යුධ හමුදාවට වෙඩි ප්‍රහාර බඳු ආක්‍රමණයන් එල්ල කරමින් සිටි පොලිස් ක්‍රීඩකයින් 29 වන මිනිත්තුවේ දී නැවතත් ධවල රේඛාව ඉක්මවා ගියේ සචිත් සිල්වාගේ උත්සාහයෙනි. සචිත් විශිෂ්ට ධාවනයක යෙදෙමින් යුධ හමුදා ක්‍රීඩකයින් සිව්දෙනෙක් පමණ මගහැර ගිය අතර මෙවර ප්‍රවර්තනය ලබා ගත් යොහාන් පීරිස් දක්ෂ ලෙස පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (පොලිස් 20-00 යුධ)

තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න

අනතුරුව පළමු අර්ධය අති සාර්ථකව අවසන් කරන්නට උත්සුක වූ පොලිස් ක්‍රීඩකයින් වෙනුවෙන් සුජාන් කොඩිතුවක්කු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගියේ පොලිස් පසුපෙළේ අනර්ඝ පන්දු යොමු කිරීම් කිහිපයකට පසුවයි. යොහාන් එම ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් ක්‍රීඩා සමාජයට විශිෂ්ට ලකුණු පුවරුවක් ඉතිරි කරමිනි.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 27 (4T, 2C, 1P)-00 යුධ හමුදා ක්‍රීඩා සමාජය

දෙවන අර්ධය ආරම්භයේදීත් ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාසය දිගටම පවත්වා ගත් පොලිස් ක්‍රීඩා සමාජය 53 වන මිනිත්තුවේ දී නැවතත් හමුදා ක්‍රීඩකයින්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේ ලකුණු පරතරය තවත් ඉහළ දමමිනි. පොලිස් ඉදිරිපෙළ ක්‍රියාත්මක වෙමින් රිසිත් සිල්වා නැවතත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර ජනිත් චන්දිමාල් අමතර ලකුණු එකතු කිරීමට සමත් විය. (පොලිස් 34-00 යුධ)

පොලිස් ප්‍රහාරයෙන් ගුවන් භටයෝ තවත් අසරණ වෙති

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සති අන්තයේ…

වැටී සිටි දැවැන්ත අගාධයෙන් යුධ හමුදාව ගොඩ ගන්නට යුධ හමුදා ඉදිරිපෙළ දැවැන්ත සටනක් ලබා දුන් අතර මිනිත්තු 56කට පසු අරවින්ද කරුණාරත්න යුධ හමුදාව වෙනුවෙන් පළමු වරට ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් විය. ගයාන් සාලින්ද එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ ඉතා වැදගත් අමතර ලකුණු එකතු කරමිනි. ලකුණු මෙන්ම කාලය සමඟ ද සටන් කළ යුධ හමුදා ක්‍රීඩකයින් ඉක්මනින් ක්‍රියාත්මක වී නැවත වරක් ලකුණු රැස්කළේ 63 වන මිනිත්තුවේ දීයි. මෙවර පසුපෙළට සවිය දුන් ඔවුන් මොහොමඩ් රිස්විගේ සුරතින් ලකුණු රැස් කළ අතර ගයාන් යුධ හමුදාව දිගටම තරගයේ රඳවා ගනිමින් පන්දුව ගෝල කණු අතරින් පා කර හරින්නට සමත් විය. (පොලිස් 34-14 යුධ)

යුධ හමුදා ක්‍රීඩකයින් මිනිත්තු කිහිපයක් ඇතුළත දෙවරක්ම උත්සාහක දිනුම් වාර්තා කිරීම නිසා පොලිස් ක්‍රීඩකයින් ද යම් පීඩනයකට ලක් වූ නමුත් ඔවුන් එම පීඩනයෙන් ගලවා ජය තහවුරු කරන්නට සමත් වූයේ මුඅම්මර් ඩීන්. ඔහු ප්‍රමුඛ පොලිස් ඉදිරිපෙළ ලකුණු පරතරය තවත් ඉහළ දමද්දී ජනිත් චන්දිමාල් අමතර ලකුණු රැස් කරන්නට සමත් විය. (පොලිස් 41-14 යුධ)

ගෞරවය වෙනුවෙන් සටන් වැදුණු යුධ හමුදා ක්‍රීඩකයින් වෙනුවෙන් ගයාන් සාලින්ද පිටිය කොණෙන් ධවල රේඛාව ඉක්මවා ගියත් ඒ වන විට තරගය ඔවුන්ගෙන් ගිලිහී ගොස් සෑහෙන වේලාවක් ඉක්මවී ගොස් තිබුණි.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 41 (6T, 4C, 1P) – යුධ හමුදා ක්‍රීඩා සමාජය 19 (3T, 2C)

 

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – රිසිත් සිල්වා (2T), සචිත් සිල්වා (1T, 1P), යොහාන් පීරිස් (2C), ජනිත් චන්දිමාල් (2C), සුජාන් කොඩිතුවක්කු (1T), මුඅම්මර් ඩින් (1T)
  • යුධ හමුදා ක්‍රීඩා සමාජය – මොහොමඩ් රිස්වි (1T), ගයාන් සාලින්ද (1T, 2C), අරවින්ද කරුණාරත්න (1T)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<