IPL සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවල දී?

142
(IPLT20)

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර එක්සත් අරාබි එමීර් හිදී පැවැත්වෙනු ඇතැයි වාර්තා වෙනවා. ඒ එළඹෙන සැප්තැම්බර් – ඔක්තෝබර් කාලරාමුවේ දීයි. IPL තරගාවලියේ පළමු වටයේ තරග 31ක් තවමත් ඉතිරිව තිබෙන අතර අවසන් වටයේ තරග හතරක් ද ක්‍රීඩා කිරීමට නියමිතයි. 

එළඹෙන මැයි 29 වැනිදා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කිරීමට නියමිතයි.

ඉන්දියාව හා එංගලන්තය අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අගෝස්තු 4 ආරම්භ වීමට නියමිතයි. දෙවැනි හා තෙවැනි ටෙස්ට් තරගය අතර දින නවයක විවේක කාලයක් තිබෙන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින්නේ එම විවේකය දින හතරකට සීමා කර ගත හැකි නම් ඒ කාලයත් ඔවුන්ට IPL තරගාවලිය සඳහා යොදා ගත හැකි බවයි.

එංගලන්ත ටෙස්ට් තරගාවලියට වැය වන දින 41ක කාලරාමුව තවත් අඩු කර ගැනීමට තවමත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා ආරම්භ කර නැහැ. 

තවත් ක්‍රිකට් පුවත්:

කෙසේ වෙතත් IPL තරගාවලියේ දෙවැනි අදියරට සැප්තැම්බර් – ඔක්තෝබර් මාසවල දී දින 30ක කාල රාමුවක් ඉතිරිව තිබෙනවා. ඒ සැප්තැම්බර් 15 සිට ඔක්තෝබර් 15 දක්වායි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා සිටින අන්දමට ඉන්දු – එංගලන්ත තරගාවලියෙන් අතිරේක දින පහක් නිදහස් වුවහොත් එම දින 5ත් IPL තරගාවලියේ කාලරාමුවට අයත් වෙනවා.

එසේ නොවේ නම් ඉන්දීය ක්‍රීඩකයින්ට හා එංගලන්ත ක්‍රීඩකයින්ට එංගලන්තයේ සිට පැමිණීමට එක් දිනක් වෙන් කළ යුතු අතර අවසන් තරග සඳහා දින පහක් වෙන් කළ යුතු වෙනවා. 

ඒ අනුව පළමු වටයේ ඉතිරි තරග 27 පැවැත්වීමට ඔවුන්ට දින 24ක් ඉතිරි වෙනවා. මෙම දින 24 තුළට සති අන්ත හතරක් ඇතුළත්. එම සති අන්ත හතරේ තරග 16ක් ක්‍රීඩා කළ හැකි අතර ඒ අනුව ඉතිරි දින 19 තුළ තරග 11ක් පැවැත්වීමට සංවිධායකයින්ට සිදු වෙනවා. එය කළ හැකි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කරන්නේ.

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඔක්තෝබර් 18 වැනිදාට අසන්න දිනෙක ආරම්භ වීමට නියමිතයි. අවසන් වටයට සහභාගී නොවන කණ්ඩායම්වල ක්‍රීඩකයින්ට ලෝක කුසලානය සඳහා සිය කණ්ඩායම් සමඟ එක්වීමට අවස්ථාව ලබා දෙන බවත් සඳහන්.

ICC විස්සයි විස්ස ලෝක කුසලානයට හානියක් නොවන ලෙස IPL තරගාවලිය පවත්වනවා දැයි ICCයත් දැඩි අවධානයෙන් සිටිනවා යැයි සඳහන්.

ICC විස්සයි විස්ස ලෝක කුසලානය ඉන්දියාවේ දී පැවැත්වීමට කළ සැලසුම් තවමත් වෙනස් කර නැහැ.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<