ශ්‍රී ලංකා පරාජය සහ විනිසුරු තීරණ

ආසියානු කුසලානය 2022

1117

ආසියානු කුසලාන ආරම්භක තරගයෙන් සුවිශිෂ්ට කඩුලු 8ක ජයක්, 5 වතාවක් ශූරයන් වූ ශ්‍රී ලංකාවට එරෙහිව, වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය ඊයේ (27) සමත් වුනා.

ආරම්භයේ දී ම පළමු පන්දුවාර තුනේ දී ශ්‍රී ලංකාවේ මුල්පෙළ පිතිකරුවන් තිදෙනාම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ඔවුන් සමත් වීම විශේෂත්වයක්. කෙසේ වුවද විනිසුරුවරුන්ගේ මතභේදාත්මක තීරණ කිහිපයක් පිළිබඳව ද ඊයේ තරගයේ දී අවධානය යොමු වුනා.

ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්ගේ සහ සෙසු ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු සුන් වූ පළමු අවස්ථාව වූයේ පිටියේ විනිසුරු අනිල් චෞද්‍රි විසින් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකව නවීන් උල් හක්ගේ පන්දුවකට කඩලු රකින්නා අතට දුන් උඩ පන්දුවකට දැවී යාමක් ලෙස සඳහන් කිරීමයි.

නමුත් දනුෂ්ක ගුණතිලක සමඟ දීර්ඝ සාකච්ඡාවකින් පසු අදාළ කාලසීමාවෙන් තත්පර කිහිපයකට පෙර විනිසුරු තීරණය නැවත සළකා බැලීමට නිස්සංක යොමු වුනා.

අල්ට්‍රා එජ් තාක්ෂණයේ රූප රාමු අනුව නොගැණිය හැකි තරම් කුඩා චලනයක් දක්නට ලැබූ අතර එය සාමාන්‍යයෙන් නොදැවීමක් ලෙස සටහන් කරන චලනයක් වුවද, තෙවැනි විනිසුරු ජයරාමන් මදන්ගොපාල් පිටියේ විනිසුරු වරයාගේ තීරණය අනුව යමින් එය දැවී යාමක් ලෙස සටහන් කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එය අදහාගත නොහැකි දවී යාමක් වූ අතර පැතුම් නිස්සංක ද බලාපොරොත්තු කඩ වූ මුහුණෙන් නැවත ක්‍රීඩාගාරයට පැමිණියා.

පසුව ඇෆ්ගනිස්තාන නායක මොහොමඩ් නබි විසින් දියත් කළ හත්වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට පන්දු යවන්නා දැවී යාමක් සඳහා දැඩි ඉල්ලීමක් කරන අවස්ථාවක පිටියේ විනිසුරුවරයා එම පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සටහන් කරනු ලැබුවා.

නමුත් මොහොමඩ් නබි විනිසුරු තීරණය නැවත සලකා බැලීමට තීරණය කළ නිසා තෙවැනි විනිසුරු රූප රාමු පරීක්ෂා කළ අතර ඔහු නැවතත් පිටියේ විනිසුරුවරයාගේ තීරණයට එකඟ වීමට තීරණය කළා. නමුත් සිදුවීම අවසානයේ වයිඩ් පන්දුවත් සමඟ ලකුණු 50ක් ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව නැවත ලකුණු 49ක් ලෙස වෙනස් වී තිබීම විශේෂත්වයක්.

විස්තර විචාරකයන් අතර ද දෙවැනි සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇති වූ අතර පැතුම් නිස්සංකගේ දැවී යාම පිළිබඳව විස්තර විචාරක සන්ජේ මන්ජ්රෙකාර් පැවසුවේ මෙවන් අදහසක්.

“අපි දැන් දුටු දේ ඉතාමත් කුතුහලය දනවන සිදුවීමක්. මම එවැනි කුඩා චලනයකට දැවී යාමක් ලබා දීමක් මෙයට පෙර දැක නැහැ. සාමාන්‍යයෙන් එය සැළකිය යුතු තරම් විශාල චලනයක් විය යුතුයි. තෙවැනි විනිසුරුගේ ප්‍රකාශ අනුව පෙනී ගියේ ඔහු නිශ්චල රේඛාවක් දිගු වෙලාවක් දුටු නමුත් ඉතා කුඩා චලනයක් දුටු මොහෙතේම දැවී යාම ලබා දුන් බවක්. එය පිතිකරුට සිදු කළ විශාල අසාධාරණයක්.”

කෙසේ වුවද ඉතා කුඩා හෝ චලනයක් ඇති වීම පිළිබඳව විස්තර විචාරක රසල් ආනල්ඩ් ද අදහස් පවසා සිටි අතර එයට පිළිතුරු ලෙස සන්ජේ මන්ජ්රේකාර් පැවසුවේ විනිසුරුවරුන් සාමාන්‍යයෙන් විශාල චලනයක් බලාපොරොත්තු වන බවත්, මෙවැනි අවස්ථාවක් ඔහු මෙයට පෙර දැක නොමැති බවත්ය. එවැනි කුඩා චලනයකට ඉතා විශිෂ්ට තාක්ෂණයක් වන අල්ට්‍රා එජ් හරහා දැවී යාමක් ලබා දීම විමතිය දනවන කරුණක් බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වුවද පිතිකරු පිටියේ විනිසුරුවරයා දැවී යාම ලබා දීමෙන් පසුව තීරණය නැවත සළකා බැලීමට දිගු වෙලාවක් ගත් බවත්, සාමාන්‍යයෙන් පැහැදිලිවම නොදැවුණු බවට විශ්වාස නම් පිතිකරු ඉක්මනින්ම තීරණය නැවත සලකා බලන බවත් ආනල්ඩ් සහ මන්ජ්රේකාර් දෙදෙනාම පිළිගත් කරුණක් වුනා.

පාකිස්තාන හිටපු සුපිරි වේගපන්දු යවන්නෙක් වන වසීම් අක්‍රම් ද පැවසුවේ කඩුලු රකින්නා එතරම් විශ්වාසයෙන් ඉල්ලීම සිදු කළේ අල්ට්‍රා එජ් හි දුටු එම කුඩා චලනය නිසා විය හැකි බවයි.

“මම තවත් අදහසක් ඉදිරිපත් කරන්නම්. අපිට කඩුල්ල අසල මයික්රෝෆොනයෙන් ඉතා කුඩා ශබ්දයක් ඇසුණා. සමහර විට විනිසුරුවරයාගේ තීරණයට එම ශබ්දය බලපාන්න ඇති,” යනුවෙන් මන්ජ්රේකාර් පසුව පවසා සිටියා.

කෙසේ වුවද “නමුත් අපිට එය ඇසුනේ අපි කතා කරමින් සිටින අතරතුර. විනිසුරුවරයන් සැමවිටම අවධානය යොමු කළේ පැවති කුඩා චලනය පිළිබඳව,” යනුවෙන් රසල් ආනල්ඩ් පවසා සිටියා.

Hindustan Times ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<