2026 පාපන්දු ලෝක කුසලානයේ 10 වැනි දිනයට නියමිත තරග අද (21) නිමාවට පත් වුනා.
තරගාවලියේ දස වැනි දිනය වෙනුවෙන් ඊයේ (20) රාත්‍රියේ සහ අද උදෑසන තරග හතරක් ක්‍රියාත්මක වූ අතර, මෙම තරග ද ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගනිමින්, උණුසුම් ලෙසින් ක්‍රියාත්මක වුනා.
නෙදර්ලන්තය සහ ස්වීඩනය
මෙම තරගයේ දී නෙදර්ලන්තය විසින් ස්වීඩනයට එරෙහිව ගෝල 5-1ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙය 1950 වසරේ දී බ්‍රසීලය හමුවේ ගෝල 7-1ක පරාජයක් ලැබීමෙන් පසුව ඔවුන් ලැබූ දරුණුතම පරාජය ලෙස වාර්තා අතරට එක් වුනා.
එමෙන්ම මීට පෙර ස්වීඩනය විසින් ටියුනීසියාවට එරෙහිව 5-1ක් ලෙස පරාජය ජය ගැනීමට සමත් වූ අතර, මෙවර ඔවුන්ට එම පරාජය අත් විඳීමට සිදු වීමත් දෛවෝපගත සිදුවීමක්.
එමෙන්ම මෙය නෙදර්ලන්තය විසින් ලෝක කුසලාන තරගයක ගෝල 5ක් වාර්තා කළ සිව්වැනි අවස්ථාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.
මෙම තරගයේ දී නෙදර්ලන්තය වෙනුවෙන් Brian Brobbey සහ Cody Gakpo ගෝල ද්විත්වය බැගින් වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්.
දඬුවම් පහර මගින් තරගයේ තීරණය ගැනීමට සිදු වන්නේ, තරගය ජය පැරදුමෙන් තොරව නිමා වන නිසා අතර, එසේ බැලූ කල 2010 ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් පසුව තවමත් නෙදර්ලන්තය ලෝක කුසලාන තරගයක් පරාජය වී නැහැ.
ඔවුන් එතැන් සිට ලෝක කුසලාන තරග 14ක් ක්‍රීඩා කරමින් ඉන් 9ක් ජය ගෙන, 5ක් ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් වී තිබෙනවා.
එමෙන්ම මෙම තරගයේ දී ලෝක කුසලාන ගෝල සියයක් වාර්තා කළ 08 වැනි කණ්ඩායම වීමට ද නෙදර්ලන්තය සමත් වූ අතර, මෙවර තරගාවලියේ වාර්තා වූ සිය වැනි ගෝලය ද මෙම තරගයේ දී වාර්තා වුනා.
ජර්මනිය සහ අයිවරි කෝස්ට්
මෙම තරගයේ පළමු අර්ධයේ 30 වැනි මිනිත්තුවේ දී අයිවරි කෝස්ට් වෙනුවෙන් Frank Kessie විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය තම කණ්ඩායම වෙත හරවා දීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී ජර්මනිය විසින් Deniz Undav තරගයට ආදේශ කිරීමෙන් පසුව ජර්මනිය විසින් නැවත තරගයට අවතීර්ණ වීමට සමත් වූ අතර, මෙහි දී Undav විසින් තරගයේ 68 වැනි මිනිත්තුවේ දී සහ 90+4 මිනිත්තුවේ දී ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.
මේත් සමඟම ඔහුට මෙම තරගාවලිය තුළ මේ වන විට ගෝල ත්‍රිත්වයක සහ Assist ද්විත්වයක අයිතිය හිමි වී තිබෙනවා. මේත් සමඟම ජර්මනිය තරගය ජය ගනිමින් ලෝක කුසලානයේ ඉදිරි වටයට පිවිසීමට සමත් වූ අතර, ඔවුන් 2014 වසරෙන් පසුවයි මෙසේ ලෝක කුසලානයක ඉදිරි වටයක් වෙත යාමට සමත් වන්නේ.
මේ අතරම ලෝක කුසලාන තරගයක අනෙක් කණ්ඩායමට වඩා පසුපසින් සිටිමින් නැවත තරගය ජය ගැනීමට ජර්මනිය සමත් වුනේ 16 වැනි වතාවට වන අතර, වෙනත් කිසිදු කණ්ඩායමක් එතරම් ප්‍රමාණයක් මෙම දස්කම දැක්වීමට සමත් වී නැහැ.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
ඉක්වදෝරය සහ කුරසාඕ
මෙම තරගය ඉතාමත් ඉහළ තරගකාරී ස්වභාවයක් ගනිමින් ක්‍රියාත්මක වුනා. මෙහි දී ඉක්වදෝරය විසින් ගෝල වාර්තා කිරීම සඳහා පහර 26ක් එල්ල කළ අතර, ඉන් 15ක් ගෝල සීමාව ඉලක්ක කර ගනිමින් එල්ල කළ ඒවා වුනා. නමුත් ඒ කිසිවක් හෝ දැල තුළ යාමට ඉඩ නොදීමට කුරසාඕ දැල් රකින්නා වන Eloy Room විසින් සමත් වුනා.
ලෝක කුසලාන තරගයක නියමිත කාලය තුළ දැල් රකින්නකු විසින් සිදු කළ වැඩිම ආරක්ෂා කිරීම් සංඛ්‍යාවේ වාර්තාව ඔහුට හිමි වනවා.
එමෙන්ම මේත් සමඟම තම මංගල ලෝක කුසලානයට සහභාගී වූ කුරසාඕ කණ්ඩායමට තම කාණ්ඩයේ ලකුණු සටහනේ ලකුණක් ලබා ගැනීමට ද හැකියාව ලැබුණා.
එමෙන්ම ඉක්වදෝරය විසින් දැල වෙත පහර 15ක් එල්ල කර ඉන් එකක් හෝ සාර්ථක කර ගැනීමට අසාර්ථක වීම 1966 වසරෙන් පසුව වාර්තා වූ වැඩිම උත්සාහයන් සංඛ්‍යාව ලෙසයි සටහන් වන්නේ.
ජපානය සහ ටියුනීසියාව
ලෝක කුසලාන ඉතිහාසයේ පැවැත්වුණු 1000 වැනි තරගය ලෙසයි මෙම තරගය ආරම්භ වුනේ. එමෙන්ම එම ඓතිහාසික තරගය තමන්ට කිසිදා අමතක නොවෙන එකක් කර ගැනීමට ජපානය සමත් වුනේ ගෝල 4-0ක් ලෙස තරගය ජය ගනිමිනුයි. මෙය ජපානය විසින් ලෝක කුසලාන තරගයක ලද ඉහළම ජය වන අතර, ආසියානු රටක් ලෝක කුසලාන තරගයක වාර්තා කළ වැඩිම ගෝල සංඛ්‍යාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.
මෙම තරගයේ දී ජපානය වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට Ayase Ueda විසින් සමත් වූ අතර, ඔහු ගෝල 3කට සිය දායකත්වය ලබා දීමට ද සමත් වුනා.
මෙම තරගයේ දී ලද පරාජයත් සමඟ ටියුනීසියාව තරගාවලියෙන් ඉවතට විසි වී යනවා. එමෙන්ම ඔවුන් මෙතෙක් සහභාගී වූ ලෝක කුසලාන තරගාවලි හත තුල දීම මූලික වටයෙන් ඉදිරියට යාමට සමත් නොවීමත් අවාසනාවන්ත සිදුවීමක්.
දස වැනි දිනට අදාළ තරග එසේ අවසන් වන අතර, එකොළොස් වැනි දිනය වෙනුවෙන් ද තරග 04ක් අද සහ හෙට (22) පැවැත්වීමට නියමිතයි.
- අද රාත්‍රි 09.30 – ස්පාඤ්ඤය සහ සෞදි අරාබිය
- හෙට අලුයම 12.30 – බෙල්ජියම සහ ඉරානය
- හෙට උදෑසන 3.30 – උරුගුවේ සහ කේප් වර්ඩ්
- හෙට උදෑසන 6.30 – නවසීලන්තය සහ ඊජිප්තුව
එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>






















