මලින්ද පුෂ්පකුමාර ක්‍රිකට් දිවියේ වැදගත් කඩඉමක් පසු කරයි

3222

වසර 82කට ඈත ඉතිහාසයකට හිමිකම් කියන දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ කඩුලු 800 සීමාව ඉක්මවා ගිය හයවැනි පන්දු යවන්නා බවට පත්වීමට වමතින් දඟපන්දු යවන මලින්ද පුෂ්පකුමාර ඊයේ (18) සමත් වුනා.

ඒ මේ දිනවල පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල – මහනුවර තරගය අතරතුරයි.

ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් (1374), රංගන හේරත් (1001), දිනුක් හෙට්ටිආරච්චි (929), දිල්රුවන් පෙරේරා (808) සහ සජීව වීරකෝන් (802) මලින්ද පුෂ්පකුමාරට පෙර දැනට එම සීමාව ඉක්මවා ගොස් තිබෙන ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙනවා. පුෂ්පකුමාර මේ වන විට පළමු පෙළ ක්‍රිකට් තරග 142ක් ක්‍රීඩා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට ටෙස්ට් තරග 4කට සහ ජාත්‍යන්තර එක්දින තරග 2කට ක්‍රීඩා කර ඇති 34 හැවිරිදි පුෂ්පකුමාර එහි ටෙස්ට් ඉනිම් 6ක දී කඩුලු 14ක් දවාගෙන තිබෙනවා. 2017 වසරේ දී ඉන්දියාවට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගන්නා පුෂ්පකුමාර තරගයක දී දක්වා තිබෙන හොඳම පන්දු යැවීමේ දස්කම වශයෙන් ලකුණු 92කට කඩුලු 5ක් දවා ගැනීම සටහන් වෙනවා.

එසේම පළමු පෙළ තරග දිවියේ ලකුණු 37කට කඩුලු 10ක් දවා ගැනීම පුෂ්පකුමාරගේ ඉනිමක හොඳම පන්දු යැවීම ලෙස සටහන් වන අතර CCC නියෝජනය කරමින් සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව 2019 වසරේ දී දැක්වූ එම දස්කම මෙතෙක් ශ්‍රී ලංකා පළමු පෙළ තරගයක ක්‍රීඩකයෙක් ඉනිමක දී දක්වා තිබෙන හොඳම පන්දු යැවීමේ දස්කම ද වෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<