ICC නවතම ශ්‍රේණිගත කිරීමේ දී ආසියාවේම පෙරමුණ දිමුත්ට

7862

නවතම ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයේ සිට 5 වැනි ස්ථානය දක්වා ස්ථාන තුනක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා. ඒ සඳහා ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 781ක්.

ඉන්දියාව සමඟ පැවැත්වුණු ICC ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකේ දී ඉනිම් 4ක් තුල ලකුණු 166ක් ලබා ගැනීමට කරුණාරත්න සමත් වුනු අතර ඔහු ප්‍රබල ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව ශතකයක් ද ලබාගෙන දස්කම් දැක්වූවා.

ඒ අනුව දැනට යාවත්කාලීන කරන ලද ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම සිටින ආසියානු පිතිකරුවා වන්නේ කරුණාරත්නයි.

ICC ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ තවදුරටත් ඉදිරියෙන් පසුවන ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Marnus Labuschagne ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු 936ක් ලබාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ මෙතෙක් 5 වැනි ස්ථානයේ පසු වුනු ඉන්දීය හිටපු නායක Virat Kohli 9 වැනි ස්ථානය දක්වා ස්ථාන 4ක් පසු බැස තිබෙනවා. එසේම ඉන්දීය නායක Rohit Sharma  මේ වන විට ටෙස්ට් පිතිකරුවන් අතර රැඳී සිටින්නේ 6 වැනි ස්ථානයේයි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smith මේ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර නවසීලන්ත නායක Kane Williamson සිව්වැනි ස්ථානයේ පසුවෙනවා. එංගලන්ත ටෙස්ට් නායක Joe Root ප්‍රසාද ලකුණු 872ක් දිනාගෙන නවතම ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටිනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<