IPL අනුව යමින් PSL තරගාවලියට අලුත් අංග කිහිපයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

3428

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අත්පත්කොට ගෙන තිබෙන සාර්ථකත්වය සඳහා ඔවුන් යොදාගන්නා කාලෝචිත උපක්‍රම වඩාත් ඉවහල් වී ඇති බවත්, ඉන් තම ක්‍රමවේදයන්ට ගැළපෙන වඩාත් උචිත විධික්‍රමයන් භාවිතා කරමින් පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය ඔස්සේ වැඩි ආදායමක් ඉපැයීමේ අපේක්ෂාවක් තමන් සතු වන බවත් PCB සභාපති Ramiz Raja මහතා පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මත පළකොට සිටියේය.

ඒ අනුව පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය සඳහා මේ වන තෙක් දෙස් විදෙස් ක්‍රීඩකයින් තෝරාපත් කර ගනු ලැබුවේ ක්‍රීඩක කෙටුම්පත් ක්‍රමයට වන නමුත් මින් ඉදිරියේ දී ක්‍රීඩක වෙන්දේසි ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන්කොට තිබුණි.

තවද PSL තරගාවලිය IPL වැනි ප්‍රමුඛ පෙළේ ලීග් තරගාවලියක් සමඟ කරට කර තරග කළ හැකි මට්ටමට ඔසවා තැබීමටත්, පාකිස්තානය පිළිබඳව ජාත්‍යන්තරය තුල ධනාත්මක ප්‍රතිරූපයක් නිර්මාණය කිරීමට ඉවහල් කර ගැනීමටත් Ramiz Raja මහතා අපේක්ෂාවෙන් පසුවේ.

අපි මූල්‍යමය වශයෙන් ස්වාධීන වෙන්න නම් අපිට ඉදිරියේ දී නව අංගයන් එකතු කිරීමටත්, නව ක්‍රමවේදයන් හඳුන්වා දීමටත් සිදු වෙනවා. අපිට දැනට තියෙන්නේ PSL තරගාවලියෙන් සහ ICCයෙන් ලැබෙන මූල්‍යමය ප්‍රවාහයන් විතරයි. ඉතින් අපි කල්පනා කළා ලබන තරග වාරයේ ඉඳන් වෙනසක් කරන්න වෙන්දේසි ක්‍රමයට ක්‍රීඩකයින් තරගාවලියට ඇතුළත් කරගැනීමට.”

අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් PSL කණ්ඩායම් හිමිකරුවන් සහ කළමණාකාරීත්වයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. වෙළඳපොළ හැසිරෙන ආකාරය පිළිබඳ ඔවුන් සමඟ අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත්. මෙය මුදල් සමඟ කරන සෙල්ලමක්. පාකිස්තාන ක්‍රිකට් මූල්‍යමය අතින් ශක්තිමත් වෙනවා කියන්නේ ක්‍රීඩාව වටා එක්රොක් වෙන, ක්‍රීඩාවට ගරු කරන පිරිස වැඩි වෙන එක.”

මම හිතන්නේ PSL තරගාවලියත් IPL වගේම වෙන්දේසි ක්‍රමවේදයට රැගෙන ගියොත් ඒකෙන් හොඳ ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. අපිට ඉන් පස්සේ බලාගන්න පුළුවන් මොන ක්‍රීඩකයින් ද IPL තරගාවලිය වෙනුවට PSL තරගාවලිය ක්‍රීඩා කරන්න කැමති වෙන්නේ කියන එක.”

Ramiz Rajaගේ මෙම යෝජනාව සම්බන්ධයෙන් PSL කණ්ඩායම් හිමිකරුවන් ඉදිරියේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ සාකච්ඡාවක නිරත වීමට එකඟතාව පළකොට ඇති අතර මේ දක්වා භාවිත කළ ක්‍රීඩක කෙටුම්පත් ක්‍රමවේදයට අනුව මූල්‍යමය අතින් දුර්වල කණ්ඩායමකට පවා ප්‍රබල නම් දැරූ ක්‍රීඩකයින් තම සංචිතයන්ට එකතු කරගනිමින් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කරගැනීමේ ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.

තවද මේ වන තෙක් ක්‍රියාත්මක කළ තරගවාරයන්ට වඩා වෙනස් ආකෘතියක් හඳුන්වා දෙමින් සත්කාරක සහ ආගන්තුක කණ්ඩායම් ලෙස තරග සංවිධානය කිරීමටත්, දැනට ක්‍රීඩාංගණ දෙකකට සීමාව පවතින තරගාවලිය තවත් ක්‍රීඩා පිටි කිහිපයක තරග දියත් කෙරෙන අයුරින් ක්‍රියාත්මක කිරීමටත් PCBය අපේක්ෂාවෙන් පසුවේ.

මේ ක්‍රමයන් එක්ක ඉබේම කණ්ඩායම් වල පසුම්බි පිරෙන එක නවත්වන්න බැහැ. නමුත් මුදල් ඔවුන්ගේ අතට නිකම්ම ලැබෙන්නෙත් නැහැ. ඒ සඳහා ඔවුන්ටත් මූල්‍යමය කැප කිරීමක් කරන්න සිදු වෙනවා. වෙන්දේසි ක්‍රමයේ දී අපිට ලෝකයේ සිටින දක්ෂතම ක්‍රීඩකයින්ව පහසුවෙන් ආකර්ෂණය කරගැනීමේ හැකියාව පවතිනවා. මම කණ්ඩායම් හිමිකරුවන් කිහිපදෙනෙක් එක්කම මේ ගැන සාකච්ඡා කරපු අවස්ථාවේ දී මට ලැබුණේ ඉතාමත් ධනාත්මක සුභවාදී පිළිතුරු. මේ පටන් ගැන්මක් පමණයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<